අංකිත ලොවේ පෙරළිය - සෝනි දර්පන රහිත පූර්ණ රාමු කැමරා

Created : 2020-Sep-10  |  Updated : 2020-Sep-10

අංකිත කැමරා පිළිබඳව සඳහන් කිරීමේ දී සංචරණයේ යෙදෙන ඡායාරූප ශිල්පීන් වෙනුවෙන් ප්‍රමාණයෙන් සහ බරින් වැඩි අංකිත ඒක කාච ප්‍රතිඡායා කැමරා (DSLR) සඳහා විකල්පයක් ලෙස ප්‍රමාණයෙන් සහ බරින් සාපේක්‍ෂව අඩු දර්පන රහිත කාච මාරු කළ හැකි (Interchangeable Lens Mirrorless) කැමරා පසුගිය කාලයේ බොහෝ කැමරා නිෂ්පාදකයින් විසින් වෙළෙඳපොලට හඳුන්වා දෙන ලදී. 



මුළින් හඳුන්වා දුන් එවැනි කැමරා බොහෝ විට සංගත කැමරාවලට වඩා මඳක් විශාල වූ අතර එම කැමරා සමග භාවිත කිරීම සඳහා කුඩා ප්‍රමාණයේ කාච වර්ග ද එම නිෂ්පාදකයින් විසින් ම නිපදවන ලදී. නමුත් මෙවැනි කැමරාවල දක්නට ලැබුනු ප්‍රධාන අඩුපාඩු වූයේ ඒවායේ සංවේදක සාපේක්ෂව ප්‍රමාණයෙන් කුඩා වීම නිසා එවැනි කැමරා මගින් ලබාදෙන පිළිබිඹුවල තත්වය අංකිත ඒක කාච ප්‍රතිඡායා කැමරා මගින් ලබාදෙන පිළිබිඹුවල තත්වයට වඩා තරමක අඩු මට්ටමක පැවතීමත්, ප්‍රමාණයෙන් එම කැමරාවලට වඩා ඉතා කුඩා වීම මගින් පරිහරණයේ පැවති අපහසුතාවයි.

එම අඩුපාඩු මගහරවා ගනිමින් ක්‍රියාකාරීත්‍වයෙන් හා ගුණාත්මක භාවයෙන් DSLR කැමරාවල තත්වයට සමවන, නමුත් ප්‍රමාණයෙන් එම කැමරාවලට වඩා තරමක් කුඩා වුවත් පෙර නිෂ්පාදිත දර්පන රහිත කැමරාවලට වඩා ප්‍රමාණයෙන් තරමක් විශාල කැමරා ශ්‍රේණියක් හඳුන්වා දීමට සෝනි සමාගම 2013 දී කටයුතු කළේ ය. මෙම කැමරා ශ්‍රේණියේ ඇති විශේෂත්‍වය වන්නේ එම මාදිලි සියල්ල පූර්ණ රාමු සංවේදක (Full Frame Sensor) සහිතව නිපදවා තිබීමයි. එහි දී මුලින් හඳුන්වා දුන් කැමරා මාදිලි දෙක වන්නේ a 7 සහ a7 R වේ. a 7 මාදිලියේ මෙගාපික්සල් 24.3 ක මිමී 35 රූපරාමුවට සමාන එක්ස්මෝර් CMOS සංවේදකයක් සහ ඉතා වේගවත් දෙමුහුන් ස්වයං නාභි (Hybrid AF) පද්ධතියක් යොදා ඇත. a7 R මාදිලියේ අන්තර්ගත සඵලදායී මෙගාපික්සල් 36.4 ක මිමී 35 රූපරාමුවට සමාන එක්ස්මෝර් CMOS සංවේදකය, සෝනි a ඉතිහාසයේ ඉහළම විභේදනය සහිත සංවේදකය වූ අතර වැඩි Optical low pass filter ඉවත් කර ඇත. එමෙන් ම මෙහි 3 වන මාදිලිය 2014 වසරේ හඳුන්වා දුන්  7 S වන අතර, මෙහි මෙගාපික්සල් 12.2 ක ඉහත ආකාරයේ ම CMOS සංවේදකයක්, ISO සංවේදීතාව 409,600 දක්වා ප්‍රසාරණය කිරීමේ හැකියාවක් සහ 4K වීඩියෝ දර්ශන ලබාගැනීමේ හැකියාවකින් ද යුක්තයි.

මෙම මාදිලි 3 පිළිබඳ සැලකීමේ දී a7 මාදිලිය බහුවිධ කාර්යයන් සඳහා නිපදවා ඇති අතර, a7 R අධි විභේදනයක් (High resolution) සහිත සියුම් විස්තර ප්‍රතිනිර්මාණය අරමුණු කරගත්තකි. a7 S අධි සංවේදීතාවක් (High sensitivity) අවශ්‍ය කරන ඡායාරූප ශිල්පීන් මෙන් ම වීඩියෝකරණ ශිල්පීන් හට වැඩි පහසුකම් සැපයීම සඳහා නිපදවා තිබේ.

මෙම කැමරා මාදිලි සැමට ම පාහේ පොදු ලක්‍ෂණ කිහිපයක් දක්නට ලැබේ. ඉන් පළමුවැන්න ලෙස වැඩි දියුණු කළ ඉතා වේගවත් පිරිසැකසුම් හැකියාවකින් යුත් බයොන්ස් පිළිබිඹු සකසනය (BIONZ X Image Processor) මගින් ඉතා යථාර්ථවත් පිළිබිඹු, ස්වාභාවික සියුම් විස්තර, උසස් පැහැ පරාසයන් මෙන් ම අඩු තිත් ස්වභාවයක් ද (More natural details, more realistic images, richer tonal gradations, and lower noise) ග්‍රහණය කරනු ලබන ඡායාරූපවලට මෙන් ම වීඩියෝ සිනමා කෘතිවලට ලබාදෙයි. මීට අමතරව දෙමුහුන් ස්වයං නාභි තාක්‍ෂණය (Hybrid AF) මගින් ඉතා වේගවත් මෙන් ම නිවැරදි නාභිගත කිරීම් මෙන් ම ස්වයං නාභි ලුහුබැඳීම් (AF tracking) ද සිදු කරනු ලබයි. තව ද මෙම මුල්  7 කාණ්ඩයේ කැමරා මාදිලි මගින් තත්පරයට රූපරාමු 5 ක් දක්වා වේගයකින් අනවරත රූපරාමු ග්‍රහණය කිරීමක් ද (5 fps burst rate) සිදු කළ හැකි ය. එමෙන් ම ඉහළ පහළ චලනය කළ හැකි තිත් 12,288,000 කින් යුත් අඟල් 3” දර්ශන තිරයක් (3.0" inch 1,228.8k - dot tilting LCD monitor) ද මේවායෙහි දක්නට ලැබේ. 

මීට අමතරව තිත් මිලියන 2.36 කින් යුත් කාබනික ආලෝක විමෝචක ඩයෝඩ විද්‍යුත් දර්ශන ග්‍රාහකයකින් ද (Organic Light Emitting Diode / OLED electronic viewfinder) මෙම කැමරා සමන්විතයි. ඒ අනුව අවශ්‍ය විටෙක පසුපස තිරය ද, තවත් විටෙක දර්ශන ග්‍රාහකය ද භාවිත කරමින් අවශ්‍ය රූපරාමු සැකසීම සිදු කළ හැකි ය. මෙහි ඇති විශේෂත්‍වය නම් දර්පනයක් නොමැති වීම හේතුවෙන් දර්ශනයෙන් පැමිණෙන ආලෝක කිරණ සෘජුව නැරඹිය නොහැකි වන නිසා සජීව නැරඹුම් ක්‍රමවේදය (Live view) යොදාගනිමින් එම රූපරාමුව බලාගැනීමට සිදු වීමයි.

කැමරා බඳ තුළ අන්තර්ගත කර ඇති අක්‍ෂ 5 ක් ඔස්සේ (Pitch, yaw, horizontal shift, vertical shift, and roll) ක්‍රියාත්මක වන සෙලවීම අවම කිරීමේ තාක්‍ෂණය (5-axis Steady Shot Inside Image Stabilization) හැඳින්විය හැකියි. මෙමගින් ද්වාර වේග නැවතුම් 4.5 ක් වැනි ඉතා වැඩි පරාසයක සෙලවීම් හානිපූරණය කිරීමේ හැකියාවකින් යුක්ත වේ.

මෙම සෝනි දර්පන රහිත කාච මාරු කළ හැකි කැමරා සමග භාවිත කිරීම සඳහා ප්‍රමාණයෙන් මදක් කුඩා නමුත් ගුණාත්මක භාවයෙන් ඉහළ E කාණ්ඩයේ (E mount) කාච විශාල ප්‍රමාණයක් නිපදවා තිබේ. මෙහි දී සෝනි කාචවලට අමතරව ජර්මනියේ Zeiss ආයතනය සමග එක්ව හඳුන්වා දුන් ඉතා ඉහළ ගුණාත්මකභාවයකින් යුතු කාච විශාල ප්‍රමාණයක් ද මිල දී ගැනීමේ හැකියාවක් ඇත. මීට අමතරව සෝනි මෙන් ම වෙනත් නිෂ්පාදකයින්ගේ DSLR කැමරා සඳහා නිපදවා ඇති කාච, පරිවර්තක (Converters) යොදාගෙන මෙම a7 මාදිලියේ කැමරා සමග භාවිත කිරීමේ හැකියාවක් ද ඇත.

එමෙන් ම සෝනි සමාගම තවත් ඉදිරි පියවරක් තබමින් උසස් වෘත්තීය අවශ්‍යතාවන් සඳහා a9 කැමරා මාදිලිය 2017 වසරේ දී හඳුන්වා දෙන ලදී. මෙය ක්‍රීඩා හා වනජීවී මෙන් ම මංගල ඡායාරූපකරණයේ නියුතු වෘත්තිකයින් සඳහා පහසුකම් ගණනාවක් සලසා ඇත. වෙළෙඳපොළේ ඇති High-end DSLR සඳහා විකල්පයක් ලෙස ඉදිරිපත් කර ඇති මෙය මෙගාපික්සල් 24 ක, මිමී 35 රූපරාමුවට සමාන එක්ස්මෝර් CMOS සංවේදකයක් සහිත පූර්ණ රාමු දර්පණ රහිත කැමරාවක් වේ. එමෙන් ම මෙය පූර්ණ ස්වයංක්‍රීය නාභිගත කිරීම සහිතව තත්පරයට රූපරාමු 20 බැගින් අනවරත රූගත කිරීමේ (20 frames per second with full autofocus) හැකියාවෙන් ද යුක්තයි. මෙහි මතකපත් දෙකක් භාවිත කිරීමේ හැකියාව ඇති අතර බැටරිය පෙර a7 මාදිලිවල තිබූ බැටරිය මෙන් 2.2 ගුණයක ධාරිතාවකින් යුක්ත වන අතර ප්‍රමාණයෙන් ද විශාල වේ.

වර්තමානය වන විට මෙම කැමරාවල නව මාදිලි පරම්පරා ගණනාවක් ඉදිරිපත් කර ඇති අතර, ඒ සෑම අවස්ථාවකම සෝනි සමාගම වෙනත් කැමරාවල දක්නට නොලැබෙන ආකාරයේ තාක්ෂණික වැඩිදියුණු කිරීම් රැසක් හඳුන්වා දීමට කටයුතු කර ඇත. 

බහුවිධ කාර්යයන් සඳහා නිපදවා ඇති a7මාදිලියේ නවතමයා a7III වන අතර, එහි මෙගාපික්සල් 24 ක් වූ සංවේදකයේ ධාරිතාව සහ තත්පරයට රූපරාමු 10 බැගින් වූ ග්‍රහණය කිරීමේ වේගය මධ්‍යස්ථ වුවත් එම සුවිශේෂී සම්බන්ධතාව මෙන් ම මිල හේතුවෙන් සියලු ආකාරයේ ඡායාරූප ශිල්පීන් සහ සියලු වර්ගවල ඡායාරූපකරණ අවශ්‍යතා සඳහා මෙය ඉතා හොඳින් ගැලපේ.

අධි විභේදනයක් සහිත a7R මාදිලියේ සිව්වන පරම්පරාවේ නවතමයා a7R IV පසුගිය 2019 වසර අග දී එළිදැක්වූ අතර, එය සෝනි සමාගමේ සිව්වන පරම්පරාවේ, අධිවිභේදනයක් සහිත පූර්ණරාමු දර්පණ රහිත කැමරාවක් වේ. එහි ඇති නවතම BSI-CMOS සංවේදකය මෙගාපික්සල් 60.2 ක ධාරිතාවකින් යුක්තයි. මෙය ඉතා ඉහළ විභේදනයක් සහිතව වුවත්, පූර්ණ ස්වයංක්‍රීය නාභිගත කිරීම සහිතව තත්පරයට රූපරාමු 10 ක් දක්වා වූ වේගයකින් අනවරත රූගත කිරීමේ හැකියාවෙන් ද යුක්තයි. පෙර පරම්පරාවලට සාපේක්ෂව, එය වඩාත් ශක්තිමත් නිමාවකින්, වැඩිදියුණු කළ කැමරා සැකසුම් පාලන පද්ධතියකින්, සමාගමේ නවතම ස්වයංක්‍රීය නාභිගත කිරීමේ තාක්ෂණික ක්‍රමවේදවලින් සහ තවත් බොහෝ නවීන ලක්ෂණ සමගින් ඉදිරිපත් කර ඇත. 

මීට අමතරව ඉතා මෑතක දී a7S III සහ a9 II කැමරා ද වැඩි දියුණු කළ තාක්ෂණික පහසුකම් ගණනාවක් සහිතව වෙළෙඳපොළට ඉදිරිපත් කිරීමට සෝනි සමාගම කටයුතු කර ඇත.

Comments