වනජීවී ඡායාරූපකරණය

Created : 2020-Sep-07  |  Updated : 2020-Sep-07

වනජීවීන් සහ මිනිසා අතර සහසම්බන්ධය මානව පරිණාමයේ ආරම්භය දක්වා විහිදී පවතී. වනසතෙකුගේ තත්වයෙන් මිදී මානවයෙකු බවට පරිණාමය වුවත් මුල් කාලීන මානවයා වනයෙන් සහ වන සතුන්ගෙන් යැපෙමින් ජීවත් වූවෙකු විය. ප්‍රාග් ඓතිහාසික මිනිසා හා සතුන් අතර තිබූ සහසම්බන්ධය ප්‍රංශයේ අල්ටමීරා සහ ස්පාඤ්ඤයේ ලැස්කෝ ගුහා චිත්‍ර මගින් මනාව පිළිබිඹු වේ. මුලින් ආහාර සඳහා වන සතුන් දඩයම් කරමින් ජීවත් වූ මිනිසා, පසුව සතුන් හීලෑකරගනිමින් ගොවිපොළවල සතුන් ඇතිකරමින් ජිවත් වන එඬේරෙකු බවට පත්විය



චිත්‍ර ඇඳීමෙන් ආරම්භ වූ වනජීවී වාර්තාකරණය, ඡායාරූප ශිල්පයේ ආරම්භය සහ දියුණුව සමග වැඩිවර්ධනය වී වර්තමානය වන විට වනජීවී ඡායාරූපකරණය විනෝදාංශයක් මෙන් ම වෘත්තියක් බවට ද පත්ව තිබේ. එයට එක් හේතුවක් ලෙස වර්තමාන කාර්යබහුල ජීවන රටාව තුළ සිරවී සිටින මිනිසා හට එම පීඩනයෙන් මිදීමේ මාර්ගයක් ලෙස තම මුතුන්මිත්තන්ගේ ජාන මගින් තමන් වෙත සම්ප්‍රේෂණය වූ වනය සහ වනසතුන් පිළිබඳ තිබෙන ආකර්ශනය අනිච්චානුගව ක්‍රියාත්මක වීම බව පෙන්වා දිය හැකි ය.

වනජීවීන් පිළිබඳ අර්ථදැක්වීම්

ඇමරිකානු ඡායාරූප සංගමය

‘වනජීවීන් යනු ස්වාභාවික හෝ හැඩගැසුණු වාසස්ථානයක නිදහස්ව හා බාධාවකින් තොරව ජීවත්වන ජීවීන් හෝ සමූහයක් ලෙස අර්ථ දැක්වේ. එබැවින් සත්වෝද්‍යාන හෝ ගොවිපල සතුන්ගේ ඡායාරූප වනජීවී තරගවලට ඇතුළත් වීමට සුදුසුකම් නොලබයි’

ජාත්‍යන්තර ඡායාරූප කලා සම්මේලනය

‘වනජීවී ඡායාරූපකරණය මගින් ජීවමාන, හීලෑ නොකරන ලද සතුන් නිරූපණය කෙරේ. හීලෑ කරන ලද, කූඩුකරන ලද හෝ ඕනෑම ආකාරයක සංයමයක් සහිත සතුන්ගේ ඡායාරූප තරග සඳහා සුදුසු නොවේ. මුල් ඡායාරූපය ඡායාරූප ශිල්පියා විසින් ඕනෑම ඡායාරූප මාධ්‍යයක් භාවිත කර ලබාගත් එකක් විය යුතු ය.

මුල් පින්තූරවලට සිදුකරනු ලබන කිසියම් වෙනස් කිරීමක්, අනවශ්‍ය තිත් හෝ සලකුණු ඉවත්කිරීමකට පමණක් සීමා විය යුතු අතර, මුල් දර්ශනයේ අන්තර්ගතය වෙනස් නොකළ යුතු ය. ඉහත අවශ්‍යතා සපුරාලීමෙන් පසු සොබාදහම් ඡායාරූපවල ගුණාත්මක භාවය පවත්වා ගනිමින් උසස් කලාත්මක ලක්‍ෂණ සහිතව ඉදිරිපත් කිරීමට සෑම උත්සාහයක්ම ගත යුතු ය’

උපකරණ හා උපාංග

වනජීවී ඡායාරූපකරණය සඳහා යොදාගනු ලබන කැමරා තාක්ෂණය පිළිබඳව සැලකීමේ දී කරුණු කිහිපයක් පිළිබඳව විශේෂ අවධානය යොමු කළ හැකි වේ. වර්තමානයේ ඩිජිටල් SLR කැමරා මේ සඳහා බහුල ව භාවිත වේ. උසස් වෘත්තීය (Highend Professional), වෘත්තීය (Professional) හෝ අර්ධ වෘත්තීය (Semi Professional) කැමරා මාදිලි භාවිත කිරීමෙන් ඉතා උසස් ඡායාරූපමය ගුණයක් ලබාගත හැකි ය. එහි දී මුලින් ම, කැමරා බඳ ඉතා වැදගත් කාර්යභාරයක් ඉටු කරනු ලබයි. එනම් මේ සඳහා යොදාගනු ලබන කැමරා බඳ රළු භාවිතයට ඔරොත්තු දෙස ලෙස ඉතා උසස් මිශ්‍ර ලෝහයෙන් තැනූවක් වීම වැදගත් වන අතර ම, ද්වාරය ක්‍රියාත්මක වීමේ ශබ්දය අවම කළ හැකි තාක්ෂණයක් (Quite Shutter release) සහිත වීම වඩාත් ප්‍රතිඵලදායක විය හැකි ය. එමෙන් ම පූර්ණ රාමු (Full f rame) ඩිජිටල් SLR කැමරා මෙන් ම 1.5 හෝ 1.6 ගුණයක් කුඩා APS-C සංවේදක සහිත DSLR කැමරා ද මේ සඳහා යොදාගත හැකි ය. එම කුඩා සංවේදක සහිත DSLR කැමරා භාවිතය මගින් කාචවල නාභිදුර ද එම 1.5 හෝ 1.6 ගුණයකින් වැඩිවීම දුරරූපී කාච භාවිතයේ දී වැඩි වාසියක් සලසයි.

එමෙන් ම ආලෝක සංවේදීතා පරාසය (ISO range) ඉතා ඉහළ අගයක් ගැනීම හේතුවෙන් විවිධ ආලෝක තත්ව යටතේ ඡායාරූප ගැනීමට හැකිවීම වැදගත් වේ. එසේ ම වේගවත් ක්‍රියාකාරීත්වයන් ග්‍රහණය කරගැනීම සඳහා තත්පරයට රූප රාමු වැඩි ප්‍රමාණයක් ලබාගත හැකි බඳක් වීම වැඩි වාසියකි. මීට අමතර ව වේගවත් ලෙස ස්වයං නාභිගත කිරීමේ හැකියාව ද, ස්වයං නාභිගත කිරීමේ ලක්ෂ්‍ය (AF points) වැඩි ප්‍රමාණයක් තිබීම ද අත්‍යවශ්‍ය කරුණකි.

කැමරා කාච පිළිබඳ සැලකීමේ දී ඉතා දිගු දුර රූපී කාච (Telephoto lens) මෙන් ම පුළුල් කෝණී කාච ද, කුඩා ජීවීන්ගේ ඡායාරූප ගැනීම සඳහා සූක්ෂ්ම කාච (Macro lens) ආදිය ද යොදා ගත හැකි ය. එමෙන් ම මේ සඳහා සමීපරූප උපාංග (Closeup accessories) සහ දුරසේයා පරිවර්තක (Tele converters) ආදිය ද යොදාගත හැකි වේ. එසේ ම ඉතා වේගවත් ලෙස නාභිගත වීමේ තාක්ෂණයක් සහිත වීමත්, සෙලවීම අවම කිරීමේ (Vibration Reduction or Image Stabilizer) තාක්ෂණය සහිත වීමත්, මෝටර්වලින් නිකුත් වන ශබ්දය අවම Ultrasonic or Silent Wave Motors) තාක්ෂණයක් සහිත කාච වීමත් වඩා ඵලදායී වේ.

අනිකුත් අතිරේක උපාංග ලෙස ඉතා ශක්තිමත් හා බරින් අඩු ත්‍රිපාදක (Tripods), තනිපාදක (Monopods) මෙන් ම ඇට මලු (Bean bags) ආදිය ද දුර රූපී කාච භාවිතයේ දී මෙන් ම අඩු ආලෝක තත්වවල දී යොදාගත හැකි ය. මෙවැනි ඇට මලු යොදාගැනීමේ දී වාහන ජනේල මත ඇටවිය හැකි Window mount ද භාවිත කළ හැකි වේ. ධ්‍රැවීකරණ පෙරණ (දීප්තිය සහ පරාවර්තනයන් ඉවත් කිරීමට), උදාසීන ගහණතා (ND) පෙරණ හෝ විචල්‍ය උදාසීන ගහණතා (Variable ND) පෙරණ ද (දිගු අනාවරණ සඳහා) භාවිත කළ හැකි ය. එමෙන් ම දුරස්ථ පාලක උපාංග (Remote Controls), අධෝරක්ත කිරණ මගින් ස්වයංක්‍රීය ව ක්‍රියාත්මක වන ද්වාර මුදාහරින උපාංග (IR shutter releaser) මෙන් ම නූතන ජංගම දුරකථන සඳහා ඇති යෙදුම් (Mobile phone app) සමග රැහැන් රහිත කැමරා ක්‍රියාකරවීම් ද විශේෂ පහසුවක් ගෙනදෙයි. රාත්‍රී ඡායාරූප ගැනීම් මෙන් ම දිවා කල අමතර ආලෝක උපාංග ලෙස ක්ෂණිකාලෝක භාවිතයේ දී සමීප රූප සඳහා ම තැනූ වලයාකාර ක්ෂණිකාලෝක ද (Ring flash) යොදාගත හැකි යි.

මීට අමතරව කැමරා උපාංග හා කාච රැගෙන යෑම සඳහා ආරක්ෂාකාරී කැමරා මලු (Camera bag) මෙන් ම පිටේ එල්ලා ගෙන යා හැකි පසු රැඳවුම් : (back pack) ආදිය ද වන දිවි ඡායාරූපකරණයේ දී වැදගත් තැනක් උසුලයි. එමෙන් ම දුර රූපී කාචවල පෙනුම හා පැහැය ආවරණය කිරීම සඳහා වන විශේෂිත ආවරණ (Camouflage flash and lens covers/coats) ආදිය ද, වනය තුළ සතුන්ට නොදැනී ඡායාරූප ගැනීමේ දී සැඟවී සිටිය හැකි කූඩාරම් ද (Hides) වෘත්තීය මට්ටමේ ශිල්පීහු මෙම ක්ෂේත්‍රයේ දී භාවිත කරති.

වනජීවී ඡායාරූපකරණය සඳහා ප්‍රවේශය

ඕනෑම කෙනෙකුට වන සතෙකුගේ හෝ කුරුල්ලෙකුගේ ඡායාරූපයක් ගත හැකි අතර, උසස් වනජීවී ඡායාරූපකරණයක සාර්ථකත්වය රඳාපවතින්නේ නිරීක්ෂණය කිරීම, ඉවසීම, පුහුණුව, නොපසුබස්නා උත්සාහය මත වේ. වඩාත්ම වැදගත් දෙය වන්නේ නිවැරදි උපකරණ සමග කැමරාව පිටුපස ගතකරන කාලයයි. එමෙන් ම සාර්ථක වනජීවී ඡායාරූප ශිල්පියෙකු වීමට නම් ඔබ වනජීවීන් නිරීක්ෂණය කරන්නෙකු විය යුතු ය. සාමාන්‍ය ස්නැප්ෂොට් ඡායාරූපවලට වඩා වැඩි යමක් ග්‍රහණය කර ගැනීමට නම් ඉවසීම, නොපසුබට උත්සාහය, අත්නොහැරීම සහ පුහුණුව අවශ්‍ය වේ. එමෙන් ම වනජීවී විෂය පිළිබඳ මනා දැනුම ද ඒ සඳහා මනා පිටිවහලක් සපයන අතර, නියම වේලාවට නියම ස්ථානයේ සිටීම ද අත්‍යවශ්‍ය කරුණකි. තවද උසස් වනජීවී ඡායාරූපයක් යනු වනසතෙකුගේ පැහැදිලි ඡායාරූපයක් පමණක් නොවන අතර, දඩයම් කිරීම, ආහාර ගැනීම හෝ සටන් කිරීම වැනි යම් ක්‍රියාවක නිරත වන ඡායාරූප වඩාත් වැදගත් වේ.

එමෙන් ම වනසත්ව ඡායාරූපකරණය සඳහා යොමුවීමට අපේක්ෂා කරන ආධුනික ශිල්පීන්ට ඒ සඳහා ප්‍රවේශවීමේ දී යම් මුලික පුහුණුවක් ලබාගැනීම වැදගත් වන අතර ඒ සඳහා පහත ක්ෂේත්‍ර කෙරෙහි අවධානය යොමු කිරීම ප්‍රතිඵලදායක වේ.

1. ගෙවත්ත ආශ්‍රිත වන සතුන්ගේ ඡායාරූප ගැනීම.

2. සත්වෝද්‍යාන තුළ වන සතුන්ගේ ඡායාරූප ගැනීම.

3. වන රක්ෂිත තුළ වන සතුන්ගේ ඡායාරූප ගැනීම.

4. ස්වභාවික පරිසරය තුළ වන සතුන්ගේ ඡායාරූප ගැනීම.

           අ. ගොඩබිම වෙසෙන සතුන්

           ආ. ජලයේ වෙසෙන සතුන්

           ඇ. ගුවනේ පියාසර කරන සතුන්

ගෙවත්ත ආශ්‍රිත වන සතුන්ගේ ඡායාරූප ගැනීම මධ්‍යම ප්‍රමාණයේ දුරරූපී කාචයක් හෝ යුහුමු කාචයක් සහ ආධුනික මට්ටමේ DSLR කැමරාවක් භාවිතයෙන් ආරම්භ කළ හැකි ය. මෙහි දී තමාට හුරුපුරුදු පරිසරයක් තුළ නිදහසේ ක්‍රියාත්මක වීමට ලැබීම මෙන් ම, අනාවරණය සහ කැමරාවේ වෙනත් සැකසුම් පිළිබඳව අත්හදාබැලීම් හා මනා වැටහීමක් ද ලබාගැනීමට හැකි වීම වාසිදායකයි. විශේෂයෙන් හිමිදිරියේ සක්‍රීය වන පක්ෂීන්ගේ ඡායාරූප ගැනීම සඳහා ගෙවත්ත යොදාගත හැකියි. තම ගෙවත්තේ අඔ, ඇඹරැල්ලා සහ කාමරංකා වැනි පළතුරු ගස් ඇත්නම් එය වඩාත් පහසු වන අතර, එසේ නොමැති නම් ඒ සඳහා කෑම සහ පළතුරු තැබිය හැකි ස්ථානයක් සෑදීම මගින් පක්ෂීන් ආකර්ෂණය කරගත හැකියි.

මීළඟට සත්වෝද්‍යාන තුළ වන සතුන්ගේ ඡායාරූප ගැනීම ද, ස්වභාවික පරිසරයක් තුළ වන සතුන්ගේ ඡායාරූප ගැනීම ආරම්භ කිරීමට පෙර පුහුණුවක් ලබාගැනීම සඳහා යොදාගත හැකි තවත් ක්‍රමයකි. එහි දී කූඩුකර සිටින සතුන් ඔවුන්ගේ කෘත්‍රිම පසුබිම් සටහන් නොවන අයුරින් ඡායාරූපගත කිරීමට උත්සාහගත යුතු අතර, සමහර ක්ෂීරපායි සතුන් රංචු වශයෙන් විශාල ප්‍රදේශයක නිදැල්ලේ හැසිරෙන ලෙස රඳවා ඇති බැවින්  ඒ සඳහා පහසුවක් සපයයි. කූඩු තුළ සිටින පක්ෂීන්ගේ ඡායාරූප ගැනීමේ දී විශාල කාච විවර භාවිත කර ක්ෂේත්‍ර ගැඹුර අඩුකර පසුබිම අපැහැදිලි කර ලබාගැනීම මගින් එම ඡායාරූපවලට ස්වාභාවික බවක් එක් කළ  හැකි ය.



ඒ ආකාරයට යම් පමණකට වනසත්ව ඡායාරූපකරණය පිළිබඳ පුහුණුවක් ලබාගැනීමෙන් අනතුරුව වන රක්ෂිත තුළ ඡායාරූප ගැනීම සඳහා යොමු විය හැකියි. බොහෝ වන රක්ෂිත තුළ ගමන් කිරීම සඳහා සෆාරි ජීප් රථ භාවිත කළ හැකි අතර, සමහර රක්ෂිත තුළ ඇති වන නිවහන් තුළ හෝ කූඩාරම් තුළ නැවතී සිටිමින් උදෑසනින් ඡායාරූප ගැනීම ආරම්භ කිරීම වඩාත් උසස් ප්‍රතිඵල ලබාගැනීමට උපකාරී වේ. මේ සඳහා අත්දැකීම් සහිත ක්ෂේත්‍ර වන නිලධාරීන්ගේ සහ රියැදුරන්ගේ සහාය ලබාගැනීමේ හැකියාවක් ද ඇත.


ගොඩබිමේ, ජලයේ සහ ගුවනේ ස්වභාවිකව සැරිසරන වනජීවීන්ගේ ඡායාරූප ගැනීම මනා සංයමයකින්, පරිචයකින් සහ ඉවසීමකින් සිදු කළ යුතු කාර්යයක් වේ. මේ සඳහා මුලින් සඳහන් කළ ආකාරයේ අත්දැකීම් ලබා තිබීම වඩා වැදගත් වන අතර, එවැනි අවස්ථාවක අත්හදාබැලීම් සිදුකිරීමට හෝ කැමරා සැකසුම් පිළිබඳ සිතමින් කාලය ගතකිරීමට හැකියාවක් නොලැබේ. යම් එක් වැදගත් අවස්ථාවක් මගහැරී ගියහොත් එවැනි අවස්ථාවක් නැවත කිසි දිනෙක නොලැබීමට ද ඉඩ තිබේ.


මීට අමතරව කෘමි සතුන් ඇතුළු කුඩා සතුන්ගේ ඡායාරූප ගැනීම සඳහා සූක්ෂම ඡායාරූපකරණය, මත්ස්‍යයින් ඇතුළු ජලජ සතුන්ගේ ඡායාරූප ගැනීම සඳහා දියයට ඡායාරූපකරණය වැනි විශේෂිත ක්ෂේත්‍ර ද දක්නට ලැබේ. ඒ සඳහා සූක්ෂම කාච, සමීප රූප උපාංග, දියයට ඡායාරූපකරණය සඳහා විශේෂිත කැමරා සහ ජලය කාන්දු නොවන කැමරා ආවරණ ආදිය නිපදවා තිබේ.


සාර්ථකව වනජීවී ඡායාරූපකරණයේ යෙදීම සඳහා ඡායාරූපකරණය පිළිබඳ ඇති දැනුම පමණක් ප්‍රමාණවත් නොවන අතර, පරිසරය සහ වනජීවීන්ගේ වාසස්ථාන, චර්යා රටාවන්, ආහාර පුරුදු ආදියත්, කාලගුණික හා දේශගුණික විපර්යාස පිළිබඳවත් යම් පමණක හෝ දැනුමක් තිබීම වැදගත් වේ.

පිළිපැදිය යුතු කරුණු

වනජීවී ඡායාරූපකරණයේ යෙදීමේ දී දීප්තිමත් වර්ණ සහිත ඇඳුම් පැලඳුම් නොඇඳිය යුතු අතර, කොළ සහ දුඹුරු පැහැති හෝ වනයට ගැලපෙන වර්ණ මිශ්‍රිත ඇඳුම් වඩාත් යෝග්‍ය වේ. එමෙන් ම සුවඳ විලවුන් භාවිතයෙන් ද වැළකිය යුතුයි.

එමෙන් ම වනසතුන්ට ආහාර දීම, ඔවුන්ගේ ආහාර ගැනීම් හෝ වෙනත් ක්‍රියාවන්ට බාධා කිරීම, සතුන් බියපත් කිරීම හෝ බලෙන් ක්‍රියාවන්ට පෙළඹවීම, සතුන්ට හිරිහැර කිරීම, විවිධ ශබ්ද නිකුත් කිරීම, සතුන් වෙසෙන වාසස්ථාන හෝ කූඩු යනාදියට අනවශ්‍ය ලෙස ළඟාවීම හෝ ඒවා නිරාවරණය නොකළ යුතු ය. තවද පරිසරයට අනවශ්‍ය ද්‍රව්‍ය බැහැර කිරීම මෙන් ම පරිසරයේ පවතින ස්වාභාවික දේ ඉන් ඉවත් කිරීම ද නොකළ යුතු ය.

ආචාරධර්ම අනුව කටයුතු කිරීම

ශ්‍රී ලංකා ජාතික ඡායාරූප කලා සංගමය මගින් 2016 වසරේ දී ප්‍රකාශයට පත් කරන ලද ඡායාරූප ශිල්පීන් සඳහා වන ආචාරධර්ම සංග්‍රහයේ වනජීවී හා ස්වභාව ඡායාරූපකරණයට විශේෂිත ආචාරධර්ම මෙසේ පෙළගස්වා ඇත.

1.     ප්‍රමාණවත් තරම් පූර්ව අධ්‍යයන, ගවේෂණ හා විමර්ශනවල නියැලීම.

2.     කාලගුණික සාධක හා භූගෝලීය ගතිලක්ෂණ කෙරේ අවධානය යොමුකොට මනා කාර්ය සැලසුමක් සම්පාදනය.

3.     අරමුණු කරනු ලබන කාර්යයට හා පරිසරයට සරිලන තාක්ෂණයක් භාවිත කිරීම.

4.     ශාක හා සත්ව ප්‍රජාවට ඔරොත්තු නොදෙන අධි තීව්‍රතා කෘත්‍රිමාලෝක, ශබ්දාධික ආම්පන්න යනාදිය පරිහරණයෙන් වැලකීම.

5.     අදාළ ස්ථානයේ සහ මොහොතේ සාමාන්‍ය පැවැත්මට අහිතකර බලපෑම් ඇතිවන කවර හෝ කාර්යයක නිරත නොවන්නට වගබලා ගැනීම.

6.     භාවිත කරන උපකරණ හා බඩුබාහිරාදිය පිළිබඳ වගකීම් දැරීම සහ පරිසරයට හානිකර අයුරින් කිසිවක් බැහැර නොකිරීම.

7.     සහායකයින්ගේ දායකත්වය අවශ්‍ය වන්නේ නම්, පුහුණු සහායකයින් සීමිත සංඛ්‍යාවක් පමණක් යොදවාගැනීම.

8.     ශාකවලට හානි පැමිණවීමෙන් හෝ සතුන් උසිගැන්වීමෙන්, ප්‍රකෝප කිරීමෙන් වැළකීම.

9.     පොදු පරිසර නීති, වනෝද්‍යාන රෙගුලාසි, ක්ෂේත්‍ර නියාමකයින්ගේ උපදෙස් පිළිපැදීම හා අවස්ථානුකූල තත්වයන්ට සරිලන පරිදි ඇඳුම් පැළඳුම් පරිහරණය සහ චර්යාවන් පාලනය කරගැනීම.

10.   වනජීවී සහ සොබාදහම් ඡායාරූප පසු නිෂ්පාදන අවස්ථාවේ සංස්කරණයට බඳුන් කොට ස්වභාවිකත්වයට පටහැනි හෝ ස්වභාවිකත්වය ඉක්මවන දර්ශන පෙන්නුම් කිරීමෙන් වැළකී සිටීම.

මේ අනුව පරිසරයට හා වනසතුන්ට හානි නොවන අයුරින්, ඔවුන්ට ආදරය හා කරුණාව දක්වමින් වනජීවී ඡායාරූපකරණයේ යෙදීම මගින් අනාගත පරපුරට ද එහි අසිරිය විඳීමට ඉඩප්‍රස්තා ලබාදීම අප සැමගේ වගකීමකි.

 

-ශාන්ත ගුණරත්න BA, FNPAS, Hon. FNPAS, AFIAP




Comments