ඩිජිටල් කැමරා සැකසුම් සහ රූපගතකිරීමේ ක්‍රියාවලිය

Created : 2020-Oct-06  |  Updated : 2020-Oct-06

සම්ප්‍රදායික ඡායාරූප ශිල්පයේ දී යෙදාගන්නා ආලෝක සංවේදී රසායනික අඳුනක් සහිත පටලය වෙනුවට ඩිජිටල් තාක්‍ෂණයේ දී යොදාගනුයේ ආලෝක සංවේදී ඉලෙක්ට්‍රොනික උපාංගයකි. මෙය අලෝක සංවේදී ඩයෝඩ විශාල සංඛ්‍යාවකින් සමන්විත සංවේදකයක් (Sensor) ලෙස හැඳින්විය හැකි ය.



මෙවැනි සංවේදකයක් මත ආලෝකය පතිත වුණු විට එහි ඇති එක් එක් ඩයෝඩ මගින් ලැබෙන ආලෝකයේ තීව්‍රතාව අනුව විද්‍යුත් සංඥාවක් (Electronic Signal) නිකුත් කරනු ලබයි. මෙම සංඥාව ඇනලොග් (Analog) ආකාරයේ වන අතර ඉන්පසු එම සංඥා ඇනලොග් - ඩිජිටල් පරිවර්තකය (Analog to Digital Converter) නම් වූ උපාංගය වෙත ගෙනයයි. එහි දී තැනෙන ඩිජිටල් සංඥාව ඉන්පසු ගෙනයන්නේ පිළිබිඹු සකසනය (Image Processor) වෙතටයි. මෙහි දී කැමරාවට කවා ඇති දත්ත සමග සංසන්දනය කරමින්, කැමරාවේ සකස් කර ඇති පිළිබිඹු ක්‍රමවේදවලට (Image Settings) අනුරුපී වන අවසන් පිළිබිඹුව නිර්මාණය කරනු ලබයි.

මෙම පිළිබිඹු යම් අංකිත පිළිබිඹු ගොනු ආකාරයක් (Image file format) ලෙස තැනෙන අතර, එය කැමරාව තුළ ඇති මතක ගබඩාවක (Inbuilt Storage) හෝ වෙනත් මතකපතක (Memory card) තැන්පත්වීම හා ගබඩාවීම සිදු වේ. ඒ හා සමගාමී ව එම තැනෙන පිළිබිඹුව ඩිජිටල් කැමරාවේ දක්නට ඇති LCD තිරය මත ද යම් සුළු කාලයක් තුළ දර්ශනය වීමක් ද සිදු වේ. මෙය එක් ආකාරයකින් අපගේ ඇස මගින් යම් දර්ශනයක් දැකීමත්, එය මොළය මගින් රූපයක් ලෙස ගොඩනැංවීමත් සමග බොහෝ සෙයින් සමාන වේ.

ආලෝක සංවේදී උපාංග

ඩිජිටල් සංවේදකයක අඩංගු වන ආලෝක සංවේදී කුඩා ම අංශුව පික්සලයක් වන අතර. මෙය Picture Elements යන්න කෙටි කර තනා ගත්තක් වේ. රූපයක අඩංගු වන පික්සල්, සංවේදකයේ අඩංගු ආලෝක සංවේදී ඩයෝඩවලට (Photo Sensitive diodes) අනුරූපී වේ. මෙම පික්සල් විවිධ හැඩයන්ගෙන් දක්නටලැබෙන අතර ඒවා සමචතුරස්‍රාකාර වීම අත්‍යවශ්‍ය නොවේ. එක් සංවේදකයක අඩංගු පික්සල් මිලියනයක් මෙගා පික්සල් 1 ක් (1 Mega Pixel / 1 MP) ලෙස හඳුන්වන අතර අද වන විට දියුණු තාක්‍ෂණයන් උපයෝගී කරගනිමින් පික්සල් මිලියන 50 ක් පමණ අඩංගු කරන ලද ම්.මී. 35 ප්‍රමාණයට සමාන ඩිජිටල් සංවේදක නිපදවා තිබේ.

වර්ණාන්ධ ඩිජිටල් සංවේදකය මත යම් රටාවකට යෙදූ රතු, කොළ සහ නිල් පැහැති පෙරණ ස්තරයක් මගින් එම සංවේදකය ද වර්ණ සඳහා සංවේදී කරනු ලබයි. මෙහි දී එක් එක් ආලෝක සංවේදී ඩයෝඩයට ඉහළින් එක් වර්ණයක පෙරණයක් දක්නට ඇති අතර, මෙය යම් රටාවකට අනුව යොදා ඇත. එම රතු, කොළ සහ නිල් පෙරණ යොදා ඇති ආකාරය කැමරාවේ පරිගණකයේ ඇති අතර යම් ඩයෝඩයක් මගින් විද්‍යුත් සංඥාවක් ලබාදුන් විට එම කුමන වර්ණ ආලෝකයක් මගින් ලබාදුන් සංඥාවක් ද යන්න ඒ අනුව සොයා ගනී. මේ ආකාරයට මුළු සංවේදකයේ ම ඇති ඩයෝඩ මගින් ලැබෙන සංඥා දත්ත යොදාගෙන අවසාන පිළිබිඹුව තැනීම සිදු වේ.

           මෙලෙස ඩිජිටල් කැමරාවල යොදාගන්නා ආලෝක සංවේදකය එහි ක්‍රියාකාරීත්වය හා සැකැස්ම අනුව ප්‍රධාන ආකාර 03 කින් නිපදවනු දක්නට ලැබේ.

           01. CCD සංවේදක

           02. CMOS සංවේදක

           03. FOVEON සංවේදක

01. CCDසංවේදක

Charge Coupled Device යන නාමයෙන් හැඳින්වෙන මෙම CCD සංවේදකය පළමු ඩිජිටල් කැමරාව සඳහා යොදාගත් සංවේදක ආකාරයයි. මෙම සංවේදක ආකාරය නිපදවීම සඳහා CMOS සංවේදකය නිෂ්පාදනයට යන වියදමට වඩා වැඩි වියදමක් හා විශේෂ තාක්‍ෂණයක් යොදාගැනීමට සිදුවීම නිසා මිලෙන් යම් තරමක වැඩි අගයක් ගනී. එමෙන් ම විද්‍යුත් ශක්ති පරිභෝජනය ද CMOS වලට වඩා මදක් වැඩියි. නමුත් ලබාදෙන රූපයේ තත්වය අතින් CCD සංවේදක, CMOS වලට වඩා ඉදිරියෙන් සිටී. මෙයට හේතුව සංවේදකයේ එක් පික්සලයක් සැලකූවිට එයින් වැඩි ප්‍රමාණයක් ආවරණය වන ලෙස ආලෝක සංවේදී ඩයෝඩ පිහිටා ඇති නිසා ය.

02. CMOS සංවේදක

Complementary Metal Oxide Semiconductor යන නාමයෙන් හඳුන්වන CMOSසංවේදකය නිපදවනු ලබන්නේ සාමාන්‍ය IC (Integrated Circuit) තැනීම සඳහා යොදාගන්නා තාක්‍ෂණය යොදාගැනීමෙන් නිසා එවැනි සංවේදක නිපදවීමට වැයවන මුදල හා තාක්‍ෂණය CCD සංවේදක හා සාපේක්‍ෂව බලන විට අඩු ප්‍රමාණයක් ගනී. මේවායේ විදුලි පාරිභෝජනය ද සාපේක්‍ෂ ව අඩු නමුත් ලබාදෙන රූපයේ තත්වය CCD මගින් ලබාදෙන රූපවලට වඩා මදක් අඩු ය.

මෙයට හේතු වී ඇත්තේ සංවේදකයේ එක් පික්සලයක් තුළ ආලෝක සංවේදී ඩයෝඩයක් සමග සංඥා වැඩිදියුණු කරන ඇම්ප්ලිෆයරයක් (Amplifier) යොදා තිබීමයි. මෙම CMOS සංවේදකය Canon සමාගම විසින් නිර්මාණය කරන ලද්දකි.

මෙමගින් ෆොටෝ ඩයෝඩය සඳහා ලැබෙන ඉඩ යම් ප්‍රමාණයකින් අඩුවීම මගින් එක් ෆොටෝ ඩයෝඩයකට ග්‍රහණය කරගත හැකි ආලෝක ශක්තිය සාපේක්‍ෂ ව අඩුවීම මෙම රූපයේ තත්වය අඩුවීම කෙරෙහි බලපායි. නමුත් වැඩිදියුණු කරන ලද ඇනලොග් - ඩිජිටල් පරිවර්තක (AD Converter) සහ පිළිබිඹු සකසන (Image Processor) යොදාගැනීම මගින් ලොව මෙතෙක් නිෂ්පාදිත ඉතා උසස් තත්වයේ ඩිජිටල් කැමරා (High-end Digital Camera) බොහොමයක් CMOS සංවේදක යොදා නිපදවා තිබේ.

මෙම සෑම ආකාරයක ම සංවේදක සැලකූ විට ඒවායෙහි අඩංගු ෆොටෝ ඩයෝඩ වටා විද්‍යුත් පරිවාරක මායිමක් දක්නට ඇති අතර සෑම ඩයෝඩයකට ම ඉහළින් මූලික වර්ණ 03 න් එකකට අදාළ වර්ණ පෙරණයක් ද, Optical Low Pass පෙරණයක් ද, අධෝරක්ත කිරණ (Infrared rays) කපාහරින පෙරණයක් සහ ක්‍ෂුද්‍ර කාච (Micro Lens) යොදා ඇත.

03. FOVEON සංවේදක

මෙය මූලික වර්ණ 03 ට සංවේදී ස්තර 03 ක් ලෙස එක මත එක සැකසූ CMOS ආකාරයේ සංවේදක වර්ගයකි. සිග්මා සමාගම මුලින් ම මෙය නව කැමරාවක් සඳහා හඳුන්වා දුන් අතර මෙතෙක් එය බහුල ව භාවිතයට ගනු ලබන්නේ නැත. නමුත් මෙය CCD 03 ක් සහිත ව ඉතා උසස් අයුරින් චලන රූප සටහන් කරගන්නා වීඩියෝ කැමරාවල යොදා ගන්නා 3CCD තාක්‍ෂණයට සමාන තාක්‍ෂණයකි. මෙම Foveonසංවේදකවල ඇති ආලෝක සංවේදක ස්තර 03 න් ඉහළින් ම ඇති ස්තරය නිල් වර්ණයට සංවේදී වන අතර, දෙවැනි ස්තරය කොළ වර්ණයටත්, පහළ ම ස්තරය රතු වර්ණයටත් සංවේදී වේ. මෙහි දී වර්ණ පටලවල සිදුවන ආකාරයට එක් එක් වර්ණ සංවේදක ස්තරය හරහා අනෙක් වර්ණ විනිවිද යෑම මගින් වර්ණ 03 ට අදාළ ආලෝක කිරණ කිසිදු බාධාවකින් තොර ව සටහන් වීම සිදු වේ. මෙවැනි සංවේදකයක් මගින් ඉතා ඉක්මනින් වඩාත් නිවැරදි ආකාරයට සියලු ම වර්ණයන් ග්‍රහණය කරගත හැකි වීම වඩාත් වාසිදායක ය.


පිළිබිඹුවල රූපමය තත්වය (Image Quality)

           ඩිජිටල් කැමරාවලින් ලබාදෙන රූපයේ තත්වය හා විශාලත්වය අපට අවශ්‍ය පරිදි හැසිරවීමේ හැකියාවක් ඇත. මෙම තැනෙන පිළිබිඹු යම් අංකිත පිළිබිඹු ගොනු ආකාරයක් (Image file format) ලෙස තැන්පත්වන අතර, ප්‍රධාන වශයෙන් එවැනි ගොනු ආකාර දෙකක් දක්නට ලැබේ.

           මෙහි එක් ක්‍රමවේදයක් වන්නේ සංවේදකයේ අඩංගු සියලු ම ෆොටෝඩයෝඩ නැතහොත් පික්සල් මගින් ලබාදෙන දත්ත සියල්ල ඒ ආකාරයෙන් ම, පිරිසැකසුම් නොකර අමු දත්ත ලෙස ගබඩා කිරීමේ ක්‍රමවේදයයි. මේවා RAW ආකාරයේ ගොනු (RAW files) ලෙස හඳුන්වනු ලබයි. මෙවැනි ගොනු භාවිතයට ගැනීමට පෙර ඒ ඒ කැමරා නිෂ්පාදකයා විසින් සපයා ඇති මෘදුකාංග (Software) මගින් හෝ Adobe සමාගමේ Photoshop හි නවතම මාදිලි මගින් හෝ Adobe Lightroomවැනි මෘදුකාංගයක් මගින් පිරිසැකසුම් (RAW Processing) කරගත යුතු ය. එවැනි පිරිසැකසුම් කරගත් ගොනුවක මුල් RAW ගොනුව නොවෙනස් ව පවතින අතර, සැකසූ පිළිබිඹුව වෙනත් ගොනු ආකාරයක් ලෙස තැන්පත් කරගත හැකි ය.

           ඊළඟ ගොනු ආකාරය ලෙස සියලු ම මාදිලිවල පාහේ ඩිජිටල් කැමරා සඳහා බහුල ව ම යොදාගනු ලබන ගොනු ආකාරය වන න්‍ඡෑඨ JPEG (Joint Photographic Expert Group) ගොනු ආකාරය දැක්විය හැකි ය. බහුල ව භාවිතයට ගැනෙන නමුත් මෙම ගොනු ආකාරයෙන් පිළිබිඹුවක් තැනෙන විට සංවේදකයේ සියලු ම පික්සල් මගින් ලබාදෙන දත්ත ඒ ආකාරයෙන් ම භාවිතයට ගැනීමක් සිදු නොවේ. මෙහි දී ආසන්න ව පිහිටන පික්සල් කිහිපයකට අදාළ පොදු තනි දත්තයක් ලෙස දත්ත හකුළුවා පිළිබිඹු තැනීම මෙහි දී සිදු වේ. මෙවැන්නක් හානිදායක දත්ත හැකිලීමක් (Lossy compression) ලෙස හඳුන්වනු ලබන අතර, මෙවැනි ගොනු නැවත නැවත විවෘත කරමින්, සංස්කරණය කරමින්, නැවත තැන්පත් කිරීමේ දී නැවත නැවතත් දත්ත හානිවීමට ලක්විය හැකි ය. මෙවැනි JPEG ආකාරයේ පිළිබිඹුවල තත්වය හා ප්‍රමාණය ඡායාරූප ලබාගැනීමට පෙර කැමරාවට දැන්විය යුතු ය. මෙහි දී බොහෝ කැමරාවල මෙම ගොනු තත්ව (Quality) 03 කින් හා ප්‍රමාණ (Size) 03 කින් තෝරාගත හැකි ය.

තත්වය                                              ප්‍රමාණය /Size

Quality                     Large                  Medium               Small

Fine               Fine Large           Fine Medium        Fine Small

Normal          Norm.Large        Norm.Medium      Norm. Small

Basic              Basic Large         Basic Medium       Basic Small


JPEG Fine Large ඡායාරූපයක් හා JPEG Basic Small ඡායාරූපයක්

මෙම JPEG Fine ආකාරයේ ගොනුවක දත්ත හැකිළීමේ අනුපාතය (Compression ratio) දත්ත 4:1 ක් වන අතර, එය Normal ගොනුවක 8:1 ක් හා Basic ගොනුවක 16:1 ක් වේ. මෙයින් Fine Large යනු JPEG ආකාරයෙන් ලබාගත හැකි තත්වයෙන් උසස් ම හා ප්‍රමාණයෙන් විශාල ම ගොනුවයි. එමෙන් ම Basic Small යනු තත්වයෙන් හා ප්‍රමාණයෙන් අවම ගොනුවයි.

ආලෝකයේ වර්ණ උෂ්ණත්වය කළමනාකරණය

(Managing the Colour Temperature)

           ඡායාරූප ශිල්පය සඳහා භාවිත කරන ප්‍රධාන ම ආලෝක ප්‍රභවය සූර්යයා වන අතර මධ්‍යහ්නයට ආසන්න දිවා කාලයේ දී හිරුගේ ආලෝකය නිවැරදි සුදු ආලෝකය ලෙස අපගේ ඇස හඳුනාගනියි. එනම් දිවාලෝකය යටතේ යම් සුදු වර්ණය සහිත අරමුණක් නිවැරදි සුදු පැහැයෙන් දර්ශනය වේ. එමෙන් ම සුදු වර්ණය සෑදී ඇත්තේ දෘශ්‍ය වර්ණාවලියේ (Visible spectrum) වර්ණ හත ලෙස නැතහොත් දේදුන්නේ වර්ණ හත ලෙස දැක්වෙන වර්ණවලින් බැවින් සුදු වර්ණය නිවැරදි ව දර්ශනය වන විට අනෙකුත් වර්ණ ද ඒවායේ නිවැරදි වර්ණ තත්වයෙන් ම දර්ශනය වේ.

නමුත් උදය කාලයේ හා සවස් කාලයේ සූර්යාලෝකයේ වර්ණය කහ, තැඹිලි ස්වභාවයක් ගනී. එමෙන්ම අප නිවෙස් තුළ භාවිත කරන ටංග්ස්ටන් (Tungsten) විදුලි බුබුළු මගින් ද කහ තැඹිලි පැහැයට හුරු ආලෝකයක් නිපදවයි. එමෙන් ම CFL බුබුළු හා ප්‍රතිදීප්ත (Fluorescent) පහන් මගින් ලා කොළ පැහැති වර්ණ ආලෝකයක් නිකුත් කරයි. මෙවැනි විවිධ ආලෝක තත්ව යටතේ දී අරමුණුවල සුදු වර්ණය එම වර්ණාලෝක මගින් වෙනස් කරනු ලබයි. එයට හේතුව නම් ඒ එක් එක් වර්ණයේ වර්ණ උෂ්ණත්‍වය (Colour Temperature)එකිනෙකට වෙනස් වීමයි. එමෙන් ම වර්ණ උෂ්ණත්‍වය කෙල්වින් (K) ඒකකය මගින් මනිනු ලබයි. කහ තැඹිලි පැහැ ආලෝකයන්ගේ වර්ණ උෂ්ණත්‍වය සාපේක්‍ෂව අඩු අතර, නිල් දම් පැහැ ආලෝකයන්ගේ වර්ණ උෂ්ණත්‍වය සාපේක්‍ෂව වැඩි ය.

           මේ ආකාරයට ඩිජිටල් කැමරා භාවිතයේ දී ඒවායේ අඩංගු ආලෝක සංවේදක ද භාවිත කරන ආලෝක ප්‍රභවයේ වර්ණ උෂ්ණත්වය හා ගැලපීමක් සිදු කළ යුතු ය. මෙය ශ්වේත තුලනය (White Balance) ලෙස හැඳින්වේ. මෙහි දී යම් සුදු පැහැති අරමුණක් ඕනෑ ම වර්ණ උෂ්ණත්වයක් සහිත ආලෝක තත්වයක දී සුදු පැහැයෙන් ම ඡායාරූපයේ සටහන් කර ගැනීම සඳහා පිළිබිඹු සකසනය වෙත අදාළ දත්ත ලබාදීම මෙම ශ්වේත තුලනය මගින් සිදු කරනු ලබයි. මේ සඳහා ඩිජිටල් කැමරාවල ප්‍රධාන ක්‍රමවේද කීපයක් දක්නට ලැබේ.

ක්‍රමවේදය                                                      වර්ණ උෂ්ණත්වය(K)

1.Auto/ස්වයංක්‍රීය                                          3000~8000

2. Tungsten/ටංග්ස්ටන්                                   3000

3. White Fluorescent/

  සුදු ප්‍රතිදීප්ත පහන්                                      3800~4000

4.Direct Sunlight/දිවාලෝකය                       5200~5300

5. Flash/ක්‍ෂණිකාලෝක                                 5400~6000

6. Cloudy/වළාකුළු සහිත                               6000~6500

7.Shade/සෙවන සහිත                                   7000~8000

8. Choose Colour Temp/

  වර්ණ උෂ්ණත්වය සැකසීම                         2500~10000

9. Pre-set / Custom WB/ පෙර සැකසුම්                      2000~10000

           ස්වයංක්‍රීය ශ්වේත තුලනයේ දී (Auto WB) සිදු වන්නේ යම් රූපරාමුවක අඩංගු වන ආලෝක තත්වයන්ගෙන් වැඩි ප්‍රතිශතයකින් යුතු ආලෝක තත්වයට අනුරූප වන ලෙස ශ්වේත තුලනය කිරීමයි. නමුත් එක හා සමාන මට්ටමේ ආලෝක තත්ව දෙකක් එක ම රූප රාමුවක් තුළ අඩංගු වන අවස්ථාවක අප නොසිතන ආකාරයේ වැරදි වර්ණ ලැබීමට ඉඩ තිබේ. ඒ අනුව ඉහත සටහනේ දක්වා ඇති ආකාරයට අදාළ කෙල්වින් අගය හෝ අදාළ ක්‍රමවේදය තේරීම මගින් වඩාත් උසස් ප්‍රතිඵල ලබාගත හැකියි. එමෙන් ම Pre-set / Custom WB ආකාරයට අදාළ ස්ථානයේ ඇති වර්ණ උෂ්ණත්වය මැනගෙන එය කැමරාවට දැනුම්දීමෙන් ඉතා ම නිවැරදි ශ්වේත තුලනයක් සිදු කරගත හැකි වේ. මෙය මැනගැනීම සිදු කරන ආකාරය කැමරා මාදිලි අනුව වෙනස් විය හැකි ය.

රූප සැකසුම් ක්‍රමවේද (Set Picture Control / Picture Styles)

           බොහෝ ඩිජිටල් SLR කැමරා මාදිලිවල පෙර සැකසූ රූප සැකසුම් ක්‍රමවේද කිහිපයක් අන්තර්ගත කර ඇති අතර, බහුලව දක්නට ලැබෙන එවැනි ක්‍රමවේද ලෙස සම්මත (Standard), උදාසීන (Neutral), තීව්‍ර වර්ණ (Vivid), විශ්වාසවත් (Faithful), ආලේඛ්‍ය (Portrait), භූමිදර්ශන (Landscape) හා ඒකවර්ණ (Monochrome) හැඳින්විය හැකි ය. නමුත් විවිධ කැමරා නිෂ්පාදකයන්ගේ එකම නමක් සහිත මෙවැනි රූප සැකසුම් ක්‍රමවේද මගින් ලබා දෙන ප්‍රතිඵල සමාන නොවිය හැකි ය. තව ද ආලේඛ්‍ය වැනි ක්‍රමවේදයක් සැලකූ විට එමගින් නිවැරදි ලෙස සමෙහි වර්ණය සටහන් කරනුයේ යුරෝපීයයන්ගේ වන අතර, එම ක්‍රමවේදය යොදා අප වැනි අඳුරු සම් සහිත ආසියානුවන්ගේ ඡායාරූප ගැනීමේ දී සමෙහි වර්ණ නිවැරදි ලෙස නොලැබිය හැකි ය.

           එමෙන් ම මෙම ක්‍රමවේදවල දක්නට ඇති අභ්‍යන්තර පරාමිතීන් වන තියුණු බව (Sharpness), පැහැ අන්තරය (Contrast), දීප්තිමත්භාවය (Brightness), සංතෘප්තතාව (Saturation) සහ වර්ණ ප්‍රභේදය (Color Tone / Hue) ආදිය පිළිබඳව සලකා බැලීමේ දී ඒවා සමානකමක් දක්වන බව පෙනේ. එනම් බොහෝ විට ඒවා 0 ලෙස දක්වා ඇත. නමුත් මෙම 0 න් හැඟවෙන ලක්‍ෂණ සියලු රූප සැකසුම් ක්‍රමවේද සඳහා එකම අගයක් නොගනී. නැතහොත් සමාන ගති ලක්‍ෂණ පෙන්නුම් නොකරයි. එලෙස 0 ලෙස අගයක් හා දෙපසට ූ හා - ලෙස දක්වා ඇත්තේ අවශ්‍ය නම් එම ප්‍රමාණයේ සිට අදාල පරාමිතියේ ගති ලක්‍ෂණ තමන්ට අවශ්‍ය පරිදි අඩු වැඩි කරගැනීම සඳහායි. එමෙන් ම භාවිත කරන්නාගේ අභිමතය පරිදි මෙම පරාමිති වෙනස් කරමින් නව රූප සැකසුම් ක්‍රමවේද නිර්මාණය කර (Manage Picture Control / User Defined Picture Styles) කැමරාව තුළ තැන්පත් කරගැනීමේ හැකියාවක් ද බොහෝ අංකිත කැමරා මගින් ලබා දී ඇත.

           තවද කලු සුදු පටල ඡායාරූපකරණයේ දී කාච ඉදිරියෙන් භාවිත කරන ලද පැහැ අන්තර හා පැහැ නිවරද පෙරණ (Contrast & Colour Correction Filters) මගින් ලබා දුන් ආකාරයේ රූපමය තත්වයන් ලබා දෙන පෙරණ වර්ග කීපයක් නවීන කැමරාවල ඒක වර්ණ රූප සැකසුම් ක්‍රමවේදයෙහි අන්තර්ගත කර ඇත. එමෙන් ම කලු සුදු ඡායාරූප මුද්‍රණ ලබාගැනීමෙන් අනතුරුව සිදු කළ පැහැ ගැන්වීම් (Toning) කීපයක් ද මෙම ක්‍රමවේදය මගින් සිදු කිරීමේ පහසුකම් සලසා තිබේ.

-ශාන්ත ගුණරත්න BA, FNPAS, Hon. FNPAS, AFIAP