NVQ Certificate for Photographers

Created : 2020-Oct-06  |  Updated : 2020-Oct-06

යම් වෘත්තිකයෙක් තම වෘත්තිය පිළිගත් සම්මතයන්ට අනුව බලාපොරොත්තු වූ මට්ටමට ඉටු කරනු ලබයි නම් ඔහු එම වෘත්තිය සඳහා නිපුණයෙකු (Competent) ලෙස හැඳින්විය හැකි ය

මෙහි දී සම්ප්‍රදායික ව ලබන විධිමත් අධ්‍යාපනය මගින් ලබාගන්නා “දැනුම” (Knowladge) නැතහොත් යම් දෙයක් සිදු කිරීම සඳහා තම මතකයේ ඇති දේ යොදා ගැනීම එක් අංගයකි.

දෙවැන්න එම ක්‍රියාව තම ඉන්ද්‍රියයන් භාවිත කරමින් නිවැරදි ලෙස සිදු කිරීම හෙවත් “කුසළතාවයි” (Skill).

තෙවැන්න එම ක්‍රියාව වෙත අවධානය යොමු කරමින් ප්‍රියතාවකින් යුතු ව එය ඉටු කිරීම හෙවත් එම ක්‍රියාව කෙරෙහි ඇති “ආකල්පයයි’ (Attitude).



මෙහි දී සම්ප්‍රදායික ඉගැන්වීම් ක්‍රමවේදය මගින් “දැනුම” පමණක් සහිත පොතේ ගුරුන් බිහි කිරීම සිදු වූ අතර පසුකාලීන ව මෙය කුසළතා වර්ධනය (Skills Development) දක්වා පරිවර්තනය විය. එනම් යම් දැනුමක් හා යමක් කිරීමේ හැකියාවක් සහිත අයෙකු බිහි කිරීමයි. නමුත් වර්තමාන තරගකාරී රැකියා වෙළෙඳපොළ පිළිබඳ ව සලකාබැලීමේ දී දැනුම හා කුසළතාව මත පමණක් යම් වෘත්තියක සාර්ථක ව නියැලීමට අපහසු බැවින් මේ සඳහා අදාළ තෙවැනි අංගයක් වන එම කාර්යය හා සම්බන්ධ ආකල්ප ද වැදගත් වන බව පෙනී යයි.

මෙය වර්තමානයේ ශ්‍රී ලංකාව ද ඇතුළුව ලොව බොහෝ රටවල් වෘත්තීය පුහුණුව සඳහා යොදාගන්නා නිපුණතා සංවර්ධන (Coompetency Development) ක්‍රමවේදය ලෙස හැඳින්විය හැකි ය. 1980 දශකයේ මුල් භාගයේ දී එංගලන්තයේ වෘත්තිකයන් මුහුණ දුන් ගැටලු පිළිබඳව සොයාබැලීමට පත් කළ බි්‍රතාන්‍ය මිනිස් බල සේවා කොමිසම (Manpower Service Commission of Britain) මගින් ඉදිරිපත් කරන ලද වාර්තාව පාදක කරගනිමින් 1986 දී ජාතික වෘත්තීය යෝග්‍යතා ක්‍රමය ක්‍රියාත්මක කිරීම බි්‍රතාන්‍යයේ දී ඇරඹිණි.

මෙහි දී එක ම වෘත්තියේ නියැලෙන්නන් අතර වූ නිපුණතා පරතරය, සේවා යෝජකයන් හට අවශ්‍ය කරන නිපුණතාවන් ලබාදීමට වෘත්තීය අධ්‍යාපනය හා පුහුණු ක්‍ෂෙත්‍රය අපොහොසත් වීම හා වෙනත් රටවල් සමග වෘත්තීමය වශයෙන් හා ආර්ථිකමය වශයෙන් තරග කිරීමට නොහැකිවීම යනාදී වූ කරුණු පිළිබඳ ව අවධානය යොමු කරමින් නව ක්‍රමවේදය සකස් කිරීම සිදුවිය.

පසුව ඕස්ටේ්‍රලියාව, නවසීලන්තය, මැලේසියාව, සිංගප්පූරුව ආදී රටවල් මෙම ක්‍රමය ක්‍රියාත්මක කළ අතර, එම රටවල් යම් යම් අත්හදාබැලීම් සිදු කරමින් හා අඩුපාඩු සකස් කරගනිමින් එය තවත් වැඩිදියුණු කොට ඇත. එම අත්දැකීම් උපයෝගී කර ගනිමින් 2004/2005 වර්ෂවල දී ශ්‍රී ලංකාව ද ජාතික වෘත්තීය සුදුසුකම් (NVQ - National Vocational Qualification) ක්‍රමවේදය ආරම්භ කරන ලදී. මේ වන විට ශ්‍රී ලංකාව මෙම ක්‍රමවේදය අතින් දකුණු ආසියාවේ ඉදිරියෙන් ම සිටින රට බවට පත්වී ඇති අතර, 2011 වසර වන විට පමණක් NVQ සහතික 50,0000 කට වඩා නිකුත් කර තිබිණි.

මෙම ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීම සඳහා කාර්මික අධ්‍යාපන හා පුහුණු කිරීමේ දෙපාර්තමේන්තුව (DTET), ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය (VTA), ජාතික ආධුනිකත්ව හා කාර්මික පුහුණු කිරීමේ අධිකාරිය (NAITA), ජාතික තරුණ සේවා සභාව (NYSC), තෘතීයික අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව (TVEC), මෙන් ම වෘත්තීය තාක්‍ෂණ විශ්වවිද්‍යාලය (UNIVOTEC) ද තම දායකත්වය සපයයි.

මෙම NVQ ක්‍රමවේදය ලංකාවට හඳුන්වා දීමේ දී අපට ගැලපෙන ආකාරයට එය පහත දැක්වෙන පරිදි යොදාගන්නා ලදී.

■   දැනුම, කුසලතාව හා ආකල්ප යන 03 ම සහිත අයෙකු ලෙස NVQ මගින් පිළිගැනීමක් ලබාදීම.

■   වෘත්තීය පුහුණුව හා රැකියා වෙළෙඳපොළ ගැලපීම. 

■   පුහුණුව ලැබූ ආයතනය හෝ පුහුණුව ලැබූ ආකාරය නොසලකා ලබා ඇති පුහුණුව පිළිබඳ සැලකීම.

■   ජාත්‍යන්තරව තරග කළ හැකි පිළිගැනීමක් සහිත ශ්‍රම බලකායක් සැකසීම.

මෙමගින් පහත දැන්වෙන ප්‍රතිලාභ බලාපොරොත්තු වූ අතර, මේ වන විට එහි ප්‍රතිඵලවල ප්‍රගතියක් දක්නට ලැබේ.

■   එක සමාන වෘත්තියක් සඳහා විවිධ ක්‍රමවලට සහ විවිධ කාල පරාසයන්ට අනුව පුහුණුවීම් සිදුවන නිසා මෙමගින් එක සමාන මට්ටමක් පිළිබඳ ව නිශ්චය කරගැනීමට හැකිවීම.

■   මෙම NVQ සමාන මට්ටම යනු පොදු ප්‍රමිතියක් බැවින් රැකියා සඳහා තෝරාගැනීමට පහසු වීම.

■   සඵලභාවය (Productivity) සහ කාර්යක්‍ෂමතාව (Efficiency) ඉහළ යෑම.

■   රටේ සම්පත් ඵලදායී ලෙස භාවිතය සහ විරැකියා මට්ටම අවම කරලීම.

■   ශ්‍රී ලංකාවේ වෘත්තිකයන් හට ජාත්‍යන්තර ඉල්ලුම වැඩිවීම.

එමෙන් ම ශ්‍රී ලංකාවේ ශ්‍රම බලකායෙන් 80% ක් පමණ විධිමත් ලෙස නිපුණතාවක් ලබාගත් අය නොවේ. එනම් ඔවුන් පිළිගත් කාර්මික හෝ වෘත්තීය පුහුණු ආයතනයකින් අධ්‍යාපනයක් නොලබා ප්‍රායෝගික ව තමන් ලද අත්දැකීම් මගින් නිපුණතාව ලබාගත් අයයි. මෙහි දී ඔවුන්ට තමාගේ නිපුණතාව පෙන්වීම සඳහා අධ්‍යාපන සහතික නොමැතිවීම ප්‍රධාන ගැටලුවක් වන අතර NVQ මගින් ඔවුන්ගේ නිපුණතාව පිළිබඳ පිළිගත් සහතිකයක් ලබාදෙයි. අවසානයේ විධිමත් අධ්‍යාපනයක් ලැබූවන් හා නොලැබූවන් එක ම මට්ටමක සුදුසුකම් සහිත අය ලෙස පිළිගැනීමට ලක් වේ. එම ක්‍රියාපටිපාටිය පහත පරිදි වේ.

■   නිපුණතා සංවර්ධනය සඳහා වන උපාය මාර්ග

■   ආර්ථික හා සමාජීය සංවර්ධනය උදෙසා වූ උපාය මාර්ග

■   කර්මාන්තයේ නියුතු අය විසින් නිපුණතා ප්‍රමිති හඳුනාගැනීම

■   නිපුණතා ප්‍රමිති අනුව පුහුණු කිරීම

■   විධිමත් අධ්‍යාපනයක් නොමැති අය සඳහා වැඩපොළ ඇගයීම

■   සුදුසුකම් හා නිපුණතාවෙන් පිරි ශ්‍රම බලකාය

යම් වෘත්තිකයෙකුගේ නිපුණතාව ඇගයීම ප්‍රායෝගිකව ක්‍රමවේද දෙකක් යටතේ සිදු කෙරේ. පිළිගත් කාර්මික හෝ වෘත්තීය පුහුණු ආයතනයක අධ්‍යාපනයක් ලබන අය නිපුණතා පාදක ඇගයීම් ක්‍රමවේදයක් (Competency Based Assessment - CBA) මගින් ඇගයීමට ලක්කෙරෙන අතර, ප්‍රායෝගික ව තමන් ලද අත්දැකීම් මගින් නිපුණතාව ලබාගත් අය පෙර ඉගෙනීම් පිළිගැනීම (Recognition of Prior Learning - RPL) මගින් ඇගයීමට ලක්කෙරේ.

ශ්‍රී ලංකාව තුළ වෘත්තියක් ලෙස ඡායාරූප ශිල්පයේ නියැලෙන්නන් පිළිබඳ ව සැලකීමේ දී දක්නට ලැබෙන්නේ ඉන් ඉතා වැඩි පිරිසක් විධිමත් අධ්‍යාපනයක් සමග පුහුණුවක් හෝ ඒ පිළිබඳ ව සහතික නොලැබූ අය බවයි. කෙසේ හෝ වේවා මෙම කරුණු කාරණා හේතුකොටගෙන ලංකාව තුළ ඡායාරූප ශිල්පය හා ඡායාරූප ශිල්පීන් පිළිබඳ ව ඇති පිළිගැනීම එතරම් ඉහළ මට්ටමක නොපවතින්නක් බව ද පෙනී යයි. ඒ අනුව ඡායාරූප ශිල්පීන්ගේ වෘත්තීයභාවය හා තත්වය ඉහළ නැංවීම සඳහා වසර දහයකට පමණ පෙර දී මෙම NVQ ක්‍රමවේදයට ඡායාරූප ශිල්පය ද ඇතුළත් කොට තිබේ. කැලණිය විශ්වවිද්‍යාලයේ ප්‍රතිබිම්බ කලා පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙකු මෙන් ම ශ්‍රී ලංකා ජාතික ඡායාරූප කලා සංගමයේ හිටපු සභාපතිවරයෙකු ද වන ආචාර්ය උදිත ගයාෂාන් ගුණසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් ප්‍රවීණ ඡායාරූප කලාවේදීන් පිරිසකගෙන් සැදුම්ලත් කමිටුවක් මගින් ඡායාරූප ශිල්පීන්ට අදාළ ව ජාතික නිපුණතා සම්මතයන් (Competency Standards for Photographer) සකස් කරනු ලැබ ඇත.

මේ අනුව ඉදිරියේ දී ඕනෑ ම ඡායාරූප ශිල්පියෙකු හට මතු විස්තර කෙරෙන ප්‍රමිතීන්ට අනුකූල ව තම නිපුණතාව ප්‍රදර්ශනය කිරීම මගින් ඡායාරූප ශිල්පයට අදාළ ව NVQ 04 වන මට්ටමේ සහතිකයක් (NVQ - Level 04) ලබාගැනීමේ අවකාශය ඇත.

ශ්‍රී ලංකාවේ ජාතික වෘත්තීය සුදුසුකම් ව්‍යුහය (National Vocational Qualifications Framework of Sri Lanka) මට්ටම් 07 කට බෙදා වෙන්කර තිබේ.

■   හත්වන මට්ටම     : සැලසුම්කරණය හා සමස්ත මෙහෙයුම් කාර්යය (Corporate Manager)

■   හයවන මට්ටම      : අන් අය කළමනාකරණය (Manager)

■   පස්වන මට්ටම      : අන් අය සුපරික්‍ෂණය (Supervisor)         

■   සිව්වන මට්ටම      : ස්වාධීන ව වැඩ කිරීම (Full Craftsmanship)

■   තුන්වන මට්ටම     : එක්තරා මට්ටමක වූ සුපරීක්‍ෂණයක් යටතේ වැඩ කිරීම (Elementary Operator)

■   දෙවන මට්ටම       : සුපරීක්‍ෂණය යටතේ වැඩ කිරීම (Under General Supervision)

■   පළමුවන මට්ටම    : ආරම්භක හා මූලික ප්‍රධාන හැකියාවන් සහිත (Under Close Supervision)

මෙහි දැක්වෙන මට්ටම් අතරින් මේ වන විට ශ්‍රී ලංකාව තුළ ඡායාරූප ශිල්ප වෘත්තියේ නියැලෙන්නෙකුට ලබාගත හැකි වනුයේ 04 වෙනි මට්ටමයි (Level 04). ඒ අනුව තනිව තීරණ ගෙන ස්වාධීන ව වැඩ කළ හැකි වෘත්තිකයෙකු ලෙස තම වෘත්තියේ නියැලීම සඳහා නිපුණයෙකු (Competent) බවට ඔහු පත්වන අතර, ඒ සඳහා ඔහුට ලැබෙන NVQ සහතිකය මගින් ඒ බව තහවුරු කරනු ලබයි.

එමෙන් ම යම් ඡායාරූප ශිල්පියෙකුගේ නිපුණතාව ඇගයීම සඳහා ඒකක (Units) 07 ක් යටතේ වන ඇගයීම් ක්‍රමවේදයක් අනුගමනය කරනු ලබයි. එම එක් එක් ඒකකය අනු ඒකක (Elements) කීපයකින් යුක්ත වන අතර, එම එක් අනු ඒකකයක් පිළිබඳ නිපුණතාව මැනීම සඳහා කාර්ය සාධක නිර්ණායක (Performance criteria) නැතහොත් යම් කාර්යයක් සිදුකරන මූලික ක්‍රමවේදය පිළිබඳ ව ඇගයීම් කරනු ලබයි. අවසානයේ එක් එක් ඒකකය සඳහා වෙන් වෙන් වශයෙන් නිපුණයෙකු බවට තහවුරු කෙරේ.

ඡායාරූප ශිල්පයෙකු හට 04 වන මට්ටම සපුරාලීම සඳහා සළකා බැලෙන ඒකක.

ඒකක අංක. 01:          ඡායාරූපගත කළ යුතු අවස්ථාවක් සැලසුම් කිරීම.

Unit 01:                             Plan Photo Imaging Assignment               

ඒකක අංක 02:                      මූලික ආලෝකකරණ ක්‍රමවේද යොදාගැනීම

Unit 02:                             Apply basic Lighting techniques

ඒකක අංක 03:                      ඡායාරූපගත කිරීමේ ක්‍රියාවලිය

Unit 03:                             Carry out image capture  

ඒකක අංක 04:                      ලබාගත් ඡායාරූප සකස් කිරීම/පිරිසැකසුම් කිරීම

Unit 04:                             Process captured images

ඒකක අංක 05:                      ඡායාරූප සැකසුම් උපකරණ සහ ඡායාරූප අමුද්‍රව්‍ය නඩත්තු කිරීම.

Unit 05:                             Maintain photo imaging equipment & material

ඒකක අංක 06:                      අවසන් කළ හා නිමවෙමින් පවතින නිෂ්පාදන තැන්පත් කිරීම හා පවත්වා ගැනීම

Unit 06:                             Store finished products & on process materials

ඒකක අංක 07:           කළමනාකරණ හා ව්‍යාපාරික කටයුතු ක්‍රියාත්මක කිරීම

Unit 07:                             Perform business related activities

මේ ආකාරයට ඒකක 07 ක් යටතේ ඡායාරූප ශිල්පීන් ඇගයීමට භාජනය කිරීමෙන් අනතුරු ව එම ඒකක 07 සඳහා නිපුණතාවක් ඇති බව ඇගයීම්කරුවන් විසින් තහවුරු කිරීමෙන් පසු අපේක්‍ෂකයාට නිපුණතා සහතිකය ලබාදීම සිදු කරයි.

ලොව බොහෝ රටවල ඡායාරූප ශිල්පය ඇතුළු අනිකුත් වෘත්තීන්ට අදාළ ව එම වෘත්තියේ නියැලීමට නම් තම නිපුණතාව පිළිබඳ සහතිකයක් ඉදිරිපත් කළ යුතු වේ. එම සහතිකයේ මට්ටම අනුව එම වෘත්තියට අදාළ ව එම වෘත්තිකයාට නිරත විය හැකි වෘත්තියේ මට්ටම ද තීරණය වේ. ඒ අනුව ශ්‍රී ලංකාව තුළ ද අනාගතයේ දී ඡායාරූප ශිල්පියා ද ඇතුළු ව බොහෝ වෘත්තීන්හි නියැලීම සඳහා තම නිපුණතාව තහවුරු කිරීමට මෙම නිපුණතා සහතික ඉදිරිපත් කිරීමට සිදු වනු ඇත. මෙය ඡායාරූප ශිල්පීන් ලෙස වෘත්තියේ යෙදෙන ඔබ විසින් භාරගත යුතු අභියෝගයකි. ඒ සඳහා ඔබ කෙතරම් සුදුස්සෙකු ද? එයට පිළිතුරු ඇත්තේ ද ඔබ තුළ ම ය. 


ශාන්ත ගුණරත්න BA, FNPAS, Hon. FNPAS, AFIAP