FULL එකක් ගන්නවද?, භාගයක් ගන්නවද? - කැමරාවක් මිලදී ගැනීමේදී සැළකිය යුතු කරුණු

Created : 2021-Jun-30  |  Updated : 2021-Jun-30

DSLR හෝ Mirrorless කැමරාවක් ගන්න බලාපොරොත්තු වෙන හුඟ දෙනෙකුට තියෙන ප්‍රශ්නයක් තමයි full frame ෆුල් ෆ්‍රේම් කැමරාවක් ගන්නවද ගන්නවාද එහෙම නැත්නම් APS C කැමරාවක් ගන්නවද කියන එක.



Full frame කියන්නේ මොකක්ද, APS C කියන්නේ මොකක්ද, ඒවායේ වාසි අවාසි මොනවද. තමන්ට ගැළපෙන්නේ මොන කැමරාවද, මෙන්න මේ කරුණු අලුතින් කැමරාවක් ගන්න බලාපොරොත්තු ඔබට ඔබට උපකාරයක් වේවි.

ෆුල් ෆ්‍රේම් (EF, FX, FF) කැමරාවක් කියලා කියන්නේ 35mm සෘන පටලපටියේ එක රාමුවකට සමාන ප්‍රමාණයේ, එනම් 36X24mm යුතු සෙන්සරයක් සහිත කැමරාවක්. ඒක full frame වෙන්නේ පටලපයේ රාමුවට සාපේක්ෂව, සම්පූර්ණ (full) රාමුව (frame) ප්‍රමාණයේ ප්‍රතිබිම්බයක් එම ප්‍රමාණයෙන්ම යුතු ඩිජිටල් සෙන්සරය මතත් සෑදෙන නිසායි. 

මෙහි වාසිය උනේ 35 mm පටල පට කැමරා සඳහා යොදාගත් කාච මේ කැමරා සඳහාද යොදා ගැනීමට තිබූ හැකියාවයි.

වර්තමානයේ බහුලව දක්නට ලැබෙන අනෙක් කැමරා වර්ගය නම් APS-C (EF-S, DX, Crop) කැමරාවයි. මොකක්ද මේ APS-C කියලා කියන්නේ.

1996-97 වසරේදී KODAK ආයතනය කළ වෙළෙඳ සමීක්ෂණයකින් හෙළි වූනා 35mm භාවිතා කරත්, සියයට 97% ක් පමණ ඡායාරූප මුද්‍රණය වෙන්නේ අඟල් 4x6 ප්‍රමාණයෙන් කියන එක. 35mm පටල පාවිච්චි කිරීම නිසා පිරිවැය අධික වීමත්, වෘත්තිමය නොවන කටයුතු සඳහා සහ විනෝදාංශයක් වශයෙන් ඡායාරූපකරණයේ යෙදෙන ඡායාරූප ශිල්පීන් වෙනුවෙන් අඩු වියදම් කුඩා පටල පටියක් හඳුන්වාදීමෙන් ඡායාරූපකරණය තවත් ජනප්‍රිය කිරීමට හැකි බව ඔවුන් තේරුම් ගත්තා. එහි ප්‍රතිපලයක් තමයි APS (Advanced Photo System) පටලපටය. 


කොඩැක් ආයතනය APS පටල පටය APS-C, APS-H සහ APS-P ලෙස ප්‍රමාණ තුනකින් 1997 දී වෙළඳපලට ඉදිරිපත් කර තිබෙනවා.

•          APS-H : HDTV: 30.2 x 16.7 mm

•        APS-C : Classic: 23.4 x 16.7 mm

•        APS- C : Panoramic: 30.2 x 9.5 mm

මෙහි විශේෂයක් උනේ විශේෂයක් උනේ පටලයේ ඇති කාන්දම් පටියක් මත දත්ත ගබඩා කිරීමට ඇති හැකියාවයි. එමගින් මුද්‍රණ ශිල්පියාට එම ඡායාරූප මුද්‍රණයට අවශ්‍ය කරුණු දැන ගැනීමේ හැකියාව ලැබුණා

පසුකාලීනව මෙම APS පටල භාවිතයෙන් ඉවත් වුණත් ඒවායේ ප්‍රමාණ (dimensions) digital sensor සෑදීම සඳහත් යොදා ගැනුණා . මේ අනුව තමයි අපේ Digital APS C කැමරාව එලිදකින්නේ. 

අපි අද භාවිතා කරන APS C සෙන්සරයක් 24x16mm පමණ වෙනවා. 35mm පටල රාමුවකට වඩා කුඩාව, 35mm පටලයට සාපේක්ෂව කුඩාව, වටෙන් කැපී ඉවත් වූ (crop වූ) පරිදි ප්‍රතිබිම්බයක් ලැබෙන නිසා සමහරු මෙය crop sensor කියලත් හදුන්වනවා. 

Full Frame සෙන්සරයක් APS C සෙන්සර් එකකට වඩා දෙගුණයකටත් මදක් වැඩියෙන් විශාලයි. විකර්ණය ඔස්සේ බැලුවොත් 1.5 ගුණයක් පමණ වෙනවා. Crop factor කියා හඳුන්වන මෙය වැදගත් වෙන්නෙ කාචයක නාභි දුර සම්බන්ධයෙන්.


Full Frame (36x24mm) සෙන්සරයක් මත සෑදෙන්නේ දිගින් සහ පළලින් APS-C සෙන්සරයකට (24x16mm) වඩා ලොකු ප්‍රතිබිම්බයකුත්, APS-C මත සෑදෙන්නේ වටෙන් ක්‍රොප් වූ මෙන් කුඩා ප්‍රතිබිම්බයක් බවත් දැන් ඔබට පැහැදිලි ඇති.

එනම් 18mm නාභිදුරක් සහිත කාචයකින් FF සෙන්සරයක් මත ලැබෙන ප්‍රතිබිම්බය      APS-C සෙන්සරයකදී ඔබට ලැබෙන්නේ දර්ශන කෝණය අඩු 24mm කාචයක දර්ශන ක්ෂෙත්‍රයට සමාන ප්‍රතිබිම්බයක්. (18*1.5 crop factor)

මේ නිසා යම් හෙයකින් ඔබට අවශ්‍ය නම් FF සෙන්සරයට ලැබුනු දර්ශන ක්ෂෙත්‍රයට සමාන ප්‍රතිබිම්බයක් APS-C සෙන්සරය මතත් ලබාගැනීමට, ඔබට ඒ සදහා වැඩි පුළුල් කෝණී කාචයක් (නාභිදුර අඩු) භාවිතායට ගන්න සිදුවෙනවා. 

එම නාභිදුර = කාචයේ නාභිදුර / crop factor.

උදා ඔබට FF සෙන්සරයක් මත18mm කාචයකින් ලැබෙන දර්ශන ක්ෂෙත්‍රය APS-C සෙන්සරයක ලබාගැනීමට නම්, 18mm/crop factor(1.5) = 12mm නාභිදුරක් සහිත කාචයක් භාවිතා කරන්න වෙනවා. මේ නිසා පුළුල් කොණී ඡායාරූපකරණයේදි crop factor මගින් සිදුවෙන අවාසිය APS-C කැමරාවල දක්නට පුළුවන්.

එලෙසම යම් නාභිදුරක් සහිත කාචයකින් APS-C සෙන්සරයක් මත ලැබෙන ප්‍රතිබිම්බයම FF සෙන්සරයක් මත ලබා ගැනීමට නම් ලබාගැනීමට නම් ඒ සදහා ඔබට නාභිදුර වැඩි කිරීමට සිදුවෙනවා. මේ නාභිදුර වැඩි කිරීමට සිදු වන ප්‍රමාණය crop factor ගුණයක්.

උදා 300mm කාචයක් APS-C කැමරාවකදී, පෙනෙන්නේ නාභිදුර 450mm වන කාචයක් ලෙසිනුයි. (300mmx1.5 crop factor). APS-C කැමරාවක 300mm කාචයක් ලැබෙන ප්‍රතිබිම්බයම FF සෙන්සරයක් මත ලබා ගැනීමට නම් ලබාගැනීමට නම් ඒ සදහා ඔබට 450mm නාභිදුරක් සහිත කාචයක් භාවිතා කරන්න වෙනවා.

මෙය APS-C කැමරාවක වාසියක් වන්නේ යම් කාචයකින්, FF කැමරාවකට වඩා 1.5 ගුණයක reach එකක් ලබා ගැනීමට හැකිවීමයි. දුරරෑපී ඡායාරූපකරණයේදි එනම් ක්‍රිඩා, වනජීවී, වාර්තාකරණ වැනි අවස්ථාවලදි මෙය ඉතා ප්‍රයෝජනවත් වීම APS-C කැමරාවල ලොකුම වාසිය කිවහොත්, එය වඩාත් නිවැරැදියි.

මේ නිසාම එවන් කාර්යන්ට සුදුසු Nikon D500 වැනි APS-C සෙන්සරයක් සහිත වෘත්තීය මට්ටමේ high performance කැමරා පවා නිෂ්පාදනය කෙරෙනවා.

(මේ සදහා ඔබට තවත් විකල්ප දෙකක් තිබෙනවා. පලමුවැන්න නම් සමහර FF කැමරාවල ඇති crop mode පහසුකම. මෙහිදී කැමරාව කරන්නේ FF සෙන්සරය මැද ඇති APS-C පුමාණයේ පික්සල පමණක් ක්‍රියාත්මක කරමින් කැමරාව APS-C කැමරාවක් ලෙස ක්‍රියාත්මක කිරීම. දෙවැන්න නම් පසුසැකසුමේදි (post processing) ක්‍රොප් කිරීම. නමුත් මේ අවස්ථා දෙකේම කැමරාවේ උපරිම ප්‍රයෝජනය ලබානොගැනීම පාඩුවක්.)

මෙහිදී මතක තබාගත යුතුදෙය නම්, කැමරාව අනුව කාචයක නාභිදුර නොවෙනස්ව පවතින නියතයක් වන අතර, වෙනස් වන්නේ දර්ශන ක්ෂේත්‍රයයි

බොහෝ කැමරා සහ කාච නිෂ්පාදකයන් Full Frame සහ APS C සඳහා වෙන වෙනම කාච නිපදවනවා. සෙන්සරය කුඩා නිසා APS C කැමරා වලට අවශ්‍ය ප්‍රතිබිම්බයත් කුඩයි. එමනිසා APS-C කාච ප්‍රමාණයෙන් කුඩාවන අතර, නිශ්පාදන පිරිවැය අඩු නිසා මිළත් අඩුවෙනවා.

නමුත් ගැටලුව වන්නේ ඔබ යම් දිනක APS-C කැමරාවක සිට Full Frame කැමරාවකට Upgrade කිරීමට බලාපොරොත්තු වෙනවා නම්... මෙයට හේතුව බොහෝමයක් FF කැමරා සඳහා සාදන කාච APS-C කැමරා සඳහා යොදාගත හැකි වුවත් APS-C කාච FF කැමරා යොදා ගැනීමේදි ඇති තාක්ෂණික ගැටලුයි.

Nikon DSLR කැමරා සඳහා යොදා ඇති F mount එක FX සහ DX යන දෙකටම පොදු වුණත් DX කාච මගින් FX සෙන්සරය මත සාදන්නේ සෙන්සරයට වඩා කුඩා ප්‍රතිබිම්බයක් බැවින් පිංතූරය වටේ කළුවෙනවා. එය වැලක්වීමට crop mode on කරගත හැකිවුවත් එය දීර්ගකාලීනව සාර්ථක උපක්‍රමයක් නොවේ.

Canon කැමරාවල නම් EF-S (APS-C) කාච EF mount එක සහිතව එන full frame කැමරා සදහා යොදා ගන්න බැහැ. එම නිසා ඔබට දැනටමත් අැත්තේ APS-C කැමරාවක් නම් ඔබ කාච මිල දී ගන්නා විට මේ පිළිබඳ සැලකිලිමත් වීම ඔබගේ ආයෝජනය වඩාත් ප්‍රයෝජනවත් වීමට හේතු වෙනවා ඇති.

තව FF කැමරා සඳහා ඒ සඳහාම නිෂ්පාදනය කොට ඇති FF කාචම භාවිතය හොඳ ප්‍රතිඵල ලබා දීමට තරම් හේතු වෙන්නේ, FF කැමරාවල සෙන්සරවල pixel සැකැස්ම APS-C කැමරාවකට වඩා මදක් වෙනස් වෙන බැවින්.

FF සෙන්සර වල pixel, APS-C සෙන්සරයක pixel වඩා ප්‍රමාණයෙන් විශාල එම නිසා ආලෝකය උකහා ගැනීමේ හැකියාවක් වැඩියි. ඒ නිසා වඩාත් අඩු ආලෝක තත්ව යටතේ full frame කැමරාව APS-C කැමරාවකට වඩා හොඳින් ක්‍රියාත්මක වනවා පමණක් නොව, ISO Performance සහ Dynamic Range එකද APS-C කැමරාවකට වඩා වැඩි වෙනවා. කුඩා පික්සල නිසා Dynamic Range අඩුවීම සහ ISO noise සාපේක්ෂව වැඩිවීම APS-C සෙන්සරයක තවත් දක්නට ලැබෙන අවාසියක්.

සංවේදකයේ pixel pitch යනු සරලව කිවහොත්, පික්සල් තීරුවක පික්සලයක කේන්ද්‍රයේ සිට ඊළඟ පික්සලයක කේන්ද්‍රයේට ඇති දුර මයික්‍රොමීටර වලින් (µm).

Pixel pitch අගය කුඩා වන තරමට සංවේදකයේ පික්සල් ගණත්වය (pixel density) වැඩි වන අතර එමඟින් resolution වැඩි වේ. FF සෙන්සරයක pixel density එක APS-C සෙන්සරයකට වඩා අඩු වන අතර, pixel pitch එක වැඩිවේ.

FF කැමරාවල භාවිතායට පහසුවක් වන තවත් කරුණක් වන්නේ Reflex Mirror එක විශාල බැවින්, View Finderය මදක් විශාලව සහ දීප්තිමත්ව තිබීමයි. 

සෙන්සරය විශාල වීම නිසා Full Frame camera මිලෙන් අධික වෙකවා වගේම FF කාචද APS-C කාච වලට වඩා මිලෙන් අධික වීම FF කැමරා වල ඇති ලොකුම අවාසියයි. එලෙසම මුදලින් අඩු, තත්වයෙන් අඩු, ලාභ හෝ පැරණි කාච පාවිච්චිය FF කැමරාවල පින්තූරවල තත්වයට අවාසිදායක ලෙස බලපානවා.

ප්‍රමාණයෙන් සහ බරින් වැඩි වීම full frame කැමරාවල අනිත් අවාසියයි.

සංසන්දනාත්මකව බලද්දි මේ APS-C කැමරා සහ කාච මිලෙන් අඩු වීම සැමට පහසුවක්. ඡායාරූපකරණය වඩාත් ජනප්‍රිය වීමට එයද බලපෑ කරුණක්. Full Frame කාච යොදා ගැනීමට ඇති හැකියාව තවත් වාසියක්.

මේ අනුව බලද්දි :

වීදී ඡායාරූපකරණය, මැක්‍රෝ ඡායාරූපකරණය, ක්‍රීඩා හා වනජීවී ඡායාරූපකරණය සදහා APS-C කැමරාවත්,

වාස්තු හා හා භූමි දර්ශන ඡායාරූපකරණය, රාත්‍රී ඡායාරූපකරණය, මෝස්තර නිරෑපන, ද්‍රව්‍ය සහ ආලේඛය ඡායාරූපකරණය සදහා FF කැමරාද භාවිතා කිරීම චායාරූපශිල්පීන් අතර බහුලව දක්නට පුළුවන්..

ඔබ දැනටමත් APS-C කැමරාවක් හවිතා කරන්නේම්, දෙවෙනි කැමරාවක් මිලදී ගැනීමට අපේක්ෂා කරනවනම්, FF කැමරාවකට යන එක වඩාත් සුදුසු වෙනවා ඇති.

නමුත් සාර්ථක ඡායාරූපයක් ගොඩනැගීමට අවශ්‍ය ආලෝකය හැසරවීම, අරමුණු සංවිධානය, භාව ප්‍රකාශනය වැනි කරුණු වලට ඔබේ කැමරාවේ සෙන්සරයේ ප්‍රමාණය අදාල වෙන්නේ නැහැ. තවද කැමරාව කුමක් උවත්, නිවැරැදි පසු සැකසුම් ක්‍රියාවලිය ඉතා හොඳ ඡායාරූපයකට අත්‍යවශ්‍ය කරුණක්.  

DSLR ද Mirrorless ද කියන සංවාදය තව වැඩි කාලයක් නොපැවතුනත්, APS-C ද Full frame ද සංවාදය දිගමට පවතීවී, මොකද Mirrorless කැමරාද මේ දෙවර්ගයෙන්ම එන නිසා.



 Upul Rodrigo. Dip. in Photography, University of Kelaniya, 

Lecturer, CameraLK Academy.



Comments