ඡායාරූපකරණයේ ඉතිහාසය - අවසන් කොටස

Created : 2020-Oct-06  |  Updated : 2020-Oct-06

අද අප භාවිතා කරන අධි තාක්ෂණික කැමරාව සිය හැකියාවන් අත්පත් කර ගැනීමට එය ඉතා දිගු ‌ෙඑතිහාසික කඩයිම් රාශියක් පසුකර පැමිණ ඇත. ඡායාරූපකරණයේ නියුතු මෙන්ම නියැලීමට බලාපොරොත්තුවන ඔබ ඡායාරූප කරණයේ ඉතිහාසය පිළිබද යම් අවබෝධයක් ලබා සිටීම ඉතාමත් අත්‍යවශ්‍ය කාරණයකි.

මේ එම අරමුණ ඉටුකිරීම වෙනුවෙන් CameraLK වෙතින් ඔබ වෙත ගෙන එන ඡායාරූප ශිල්ප ඉතිහාසය පිළිබඳ ලිපි මාලාවේ අවසන් කොටසයි. 



ඉංග්‍රීසි උද්භිද විද්‍යාඥයෙක් හා ගණිතඥයෙක් මෙන් ම ඩැගියුරේගේ සමකාලීනයෙකු වූ විලියම් හෙන්රි ෆොක්ස් ටැල්බට් (William Henry Fox Talbot) සෘණඵලක මගින් ධන මුද්‍රණ අවශ්‍ය ප්‍රමාණයක් ලබාගත හැකි ක්‍රමයක් (Negative to Positive Process) ඉදිරිපත් කළ පළමු නිර්මාණකරුවා වූයේ ය. 1834 දී පමණ ඔහු රිදී ලවණ ගැල්වූ උසස් කඩදාසි මත විවිධ හැඩැති ඝන ද්‍රව්‍ය තබා ආලෝකයට අනාවරණය කරමින් පිළිබිඹු නිර්මාණය කළ අතර, ඒවා Photogenic drawingsහා පසුකාලීනව Photograms ලෙස හඳුන්වනු ලැබීය.

1835 දී ටැල්බට් නව අත්හදාබැලීම් සිදුකරමින් රිදී ලවණ ද්‍රාවණයක් යොදාගෙන කඩදාසි ආලෝකයට සංවේදී කර එම කඩදාසි ආලෝකය මගින් අනාවරණය කළේ ය. එහි දී පසුබිම කළු බවට පත් වූ අතර, අරමුණු අළු පැහැයේ ප්‍රභේදවලින් දක්නට ලැබුණි. මෙය සෘණ රූපයක් වූ අතර, එම කඩදාසි සෘණඵලක යොදාගෙන ස්පර්ෂ මුද්‍රණ ක්‍රමය මගින් ආලෝකය සහ සෙවනැලි නැවතත් නොපිට හරවා සවිස්තරාත්මක ධන මුද්‍රණයක් නිර්මාණය කළේ ය. මෙම පිළිබිඹු සෝඩියම් ක්ලෝරයිඩ් හෙවත් මේස ලුණු මගින් ස්ථාවරණය කළ හැකි බව සොයාගත් ටැල්බට් 1841 වන විට කඩදාසි සෘණඵලක ක්‍රියාවලිය නිවැරදිව ක්‍රමවත්ව සිදු කළ අතර, එය ‘ලස්සන රූපය’ සඳහා ග්‍රීක භාෂාවෙන් පැවසෙන ‘කැලෝටයිප්’ (Calotype) ලෙස නම් කළේ ය. 1844 වන විට තමාගේ චිත්‍රාගාරයක් ආරම්භ කළ ටැල්බට්, ඔහුගේ ඡායාරූප නිර්මාණය කිරීමේ ක්‍රියාවලිය පැහැදිලි කරමින් Pencil of Nature නමින් ග්‍රන්ථයක් ද ප්‍රකාශයට පත්කර ඇත. පසුව ඔහු නූතන ඡායාරූප ශිල්පයේ පියා යන විරුදාවලියට ද හිමිකම් කියනු ලැබීය.

ටැල්බට්ගේ පර්යේෂණ සඳහා බලපෑමක් ඇති කළ තවත් ඉංග්‍රීසි ජාතික පර්යේෂකයෙකු ලෙස ශ්‍රීමත් ජෝන් හර්ෂල් (Sir John Herschel)හැඳින්විය හැකියි. හර්ෂල් වර්තමානයේ දීත් අප භාවිත කරන Photography, Negative, Positive සහ Snapshot යන වදන් ඡායාරූප ශිල්පයට හඳුන්වාදුන් පුද්ගලයා ලෙස ඉතිහාසගත වී ඇත.

ඉංග්‍රීසි ජාතික මූර්ති ශිල්පියෙකු වූ ෆ්‍රෙඩ්රික් ස්කොට් ආර්චර් (Frederick Scott Archer) ඡායාරූප ශිල්පයේ මීළඟ වැදගත් සොයාගැනීම සිදු කළ තැනැත්තා ලෙස හැඳින්වේ. 1851 දී ආචර් තෙත් ඡායාරූප තහඩුව(Wet plate) නිර්මාණය කළ අතර, ඇලෙනසුළු කොලෝඩියන් ද්‍රාවණයක් භාවිත කරමින් ඔහු වීදුරු මතුපිට ආලෝක සංවේදී රිදී ලවණ ආලේප කළේ ය. වීදුරු වීම නිසා මෙම තෙත් තහඩුව කඩදාසිවලට වඩා ස්ථාවර හා සවිස්තරාත්මක මෙන් ම ඉහළ ගුණාත්මක බවක් ඇති කළේ ය. පැසුරුම් කිරීමෙන් පසු ලැබෙන වීදුරු සෘණඵලකය වියලාගත් පසු ඉතා ඝන තත්වයේ පැවතීම මගින් අවශ්‍ය මුද්‍රණ පිටපත් ලබාගැනීම වඩාත් පහසු විය.

ආලෝක සංවේදී ද්‍රව්‍ය වීදුරු තහඩු මත ආලේප කළ හැකි විමෙන් ඡායාරූපකරණය සැලකිය යුතු ලෙස දියුණු විය. කෙසේ වෙතත්, රසායනික අඳුන වියළීමට පෙර තෙත් තහඩු ඉක්මනින් අනාවරණය කර විකාශනය කළ යුතු විය. මේ සඳහා අඳුරුකුටියක් අවශ්‍ය වූ අතර, විශේෂයෙන් ක්ෂේත්‍රය තුළ ඡායාරූප ගැනීමේ දී ජංගම අඳුරුකුටියක් රැගෙන යෑමේ අවශ්‍යතාවක් මතු විය. නමුත් ලැබුණු පිළිබිඹු වඩාත් පැහැදිලි තත්වයේ පැවතීම හේතුවෙන් මෙම ක්‍රමය ඡායාරූප ශිල්පීන් අතර බෙහෙවින් ජනප්‍රිය විය. ක්‍රිමියන් යුද්ධය හා ඇමරිකානු සිවිල් යුද්ධය වාර්තා කිරීම සඳහා මෙම තෙත් තහඩු භාවිත කර ඇති අතර, ජුලියා මාග්‍රට් කැමරන් වැනි නිර්මාණාත්මක ආලේඛ්‍ය ඡායාරූපකරණයේ නියැලී සිටි ශිල්පීන් හා ශිල්පීණීන් ද මෙම තෙත් තහඩු ක්‍රමය මගින් උසස් නිර්මාණ බිහිකර ඇත.

තෙත් තහඩු ක්‍රමයට විකල්පයක් ලෙස වියලි තහඩු (Dry plate)ක්‍රමයක් හඳුන්වාදීමට ඉංග්‍රීසි ජාතික වෛද්‍යවරයෙකු වූ රිචඩ් ලීච් මැඩොක්ස් (Richard Leach Maddox) 1871 දී සමත් විය. ජෙලටින්වල දියකරගත් කැඩ්මියම් බ්‍රෝමයිඩ් සහ රිදී නයිට්රේට් වීදුරු මත ආලේප කිරීමෙන් සෘණඵලක ද, එම මිශ්‍රණය ම ඝන කඩදාසි මත ආලේප කිරීමෙන් මුද්‍රණ ද ලබාගත හැකි වීම මෙම ක්‍රමයේ වාසියක් විය. මුල දී අනාවරණ කාලය මඳක් වැඩි වුවත්, පසුව තත්පරයෙන් කොටසක් වැනි ඉතා සුළු කාලයක දී නිවැරදිව අනාවරණය කිරීමේ හැකියාවක් ලැබීමත් සමග මෙම ක්‍රමය ලොව පුරා සීඝ්‍රයෙන් පැතිරී ගියේ ය. වීදුරු පටල තහඩු අවශ්‍ය ප්‍රමාණයක් ගබඩා කර තබාගැනීමට හැකි වීමත්, පසුව වෙනත් ශිල්පීන් ලවා පැසුරුම් කිරීමේ හැකියාවත් මේ සඳහා බොහෝ සෙයින් බලපෑවේ ය. එමෙන් ම ලොව පුරා මෙම වියලි තහඩු නිපදවීමේ කර්මාන්ත ශාලා ද බිහි වූ අතර, පසුව කොඩැක් කැමරා සහ පටල රෝල් නිර්මාණයේ යෙදුණු ජෝර්ජ් ඊස්ට්මන් ද මුලින් වියලි තහඩු නිපදවීමේ කර්මාන්තයේ නියැලී ඇත. මෙම ක්‍රමය ජනප්‍රිය වීමත් සමග විවිධ ප්‍රමාණයේ පටල තහඩු මෙන් ම කුඩා ප්‍රමාණයේ අතේ ගෙන යාහැකි කැමරා මාදිලි ද නිපදවීම ආරම්භ වී ඇත.

මීළඟට ඡායාරූප ශිල්පය සාමාන්‍ය ජනයා අතර ජනප්‍රිය භාවිතයක් බවට පත්කිරීමේ පුරෝගාමියා වන්නේ ඇමරිකානු ජාතික ජෝර්ජ් ඊස්ට්මන් (George Eastman) වේ. ඔහු 1888 දී එක් වරකට එක් පටල තහඩුවක් පමණක් යොදාගන්නා කැමරා වෙනුවට ඡායාරූප විශාල ප්‍රමාණයක් ලබාගත හැකි පටල රෝල් යොදාගන්නා කැමරාවක් නිපදවන ලදී. මෙය ‘කොඩැක් පෙට්ටි කැමරාව’ ලෙස නම් කළ අතර, මුලින් රූපරාමු 100 ක් ලබාගත හැකි කඩදාසි පටල යෙදූ මෙම කැමරාව ඇ.ඩො. 25 ක මිලකට අලෙවි කර ඇත. ඒ සමගම ‘ඔබ බොත්තම තදකරන්න, අපි ඉතිරිය කරන්නම්’ (You press the button, we do the rest) යන ප්‍රචාරක පාඨය ද මෙම කැමරා අලෙවිය සඳහා භාවිත කර ඇත. මෙය ඡායාරූප ගැනීම ජීවිතයේ සාමාන්‍ය අංගයක් බවට පත් කිරීමේ මූලික අඩිතාලම වූ අතර, එය තවදුරටත් පහසු කරවමින් 1889 දී කඩදාසි පටල වෙනුවට විනිවිද පෙනෙනසුළු, නම්‍යශීලී සෙලියුලොයිඩ් පටල රෝල් නිෂ්පාදනය අරඹන ලදී. ඒ අනුව එතෙක් කොඩැක් රසායනාගාරයක් වෙත යවා පටල පිරිසැකසුම් කර මුද්‍රණ ලබාගැනීම වෙනුවට ඕනෑම අඳුරු කුටියක් භාවිත කර එම ක්‍රියාවලිය සිදුකර ගැනීමේ පහසුකම උදා විය. ඒ අනුව කොඩැක් පටල, මුද්‍රණ කඩදාසි මෙන් ම පිරිසැකසුම් කිරීමට අවශ්‍ය රසායන ද්‍රව්‍ය නිෂ්පාදනය ද ආරම්භ වී ඇත. එසේ ම මුලින් නිපදවූ නයිට්‍රෝ සෙලියුලෝස්වලින් සැකසූ පටලය ගිනි ඇවිලෙනසුළු වීම නිසා පසුව 1901 දී සෙලියුලෝස් ඇසිටේට්වලින් මෙම පටල නිපදවීම ආරම්භ කර ඇත. වර්තමානය දක්වා ම පටල රෝල් සාදනු ලබන්නේ මෙම ක්‍රමවේදය අනුව වේ.

 

-ශාන්ත ගුණරත්න BA, FNPAS, Hon. FNPAS, AFIAP

සබැඳි ලිපි

ඡායාරූපකරණයේ ඉතිහාසය - 1 කොටස

ඡායාරූපකරණයේ ඉතිහාසය - 2 කොටස

Comments